දේශපාලනඥයන්ට කෙළෙහිගුණ නැති බව අත්දැකීමෙන්ම මම දැන් දන්නවා

  👤  3354 readers have read this article !
By mawbima 2017-06-20

අපේ දේශපාලකයන්ට කෙළෙහිගුණ නම් ගෑවිලාවත් නැහැ. අපිට ඒක පැහැදිලිව පේනවා. අත්දැකීමෙන්ම මම නම් දැන් විඳිනවා. වැඩියෙන් උදවු කරලා වැඩියෙන් සලකපු අය වැඩියෙන් අපට බනිනවා. ඒකයි වෙනස.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ පසුගියදා (17දා) බෙලිඅත්ත සිටිනාමළුව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද සිටිනාමළුවේ ධම්මජෝති මාහිමිපාණන් වහන්සේගේ රුව දැක්වෙන ප්‍රතිමාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.
අපි එදා හිටපු තත්ත්වය අද ගොඩක් අයට අමතකයි. එක යුගයක් තිබුණා ගමට යන්න අඩිපාරක් හරියට නැති. ඒත් අද දෙයියන්ගේ පිහිටෙන් කාපට් පාරේ යන්න පුළුවන්කම තියෙනවා.

අද රටේ තියෙන තත්ත්වය පිළිබඳව අපි හිතන්න ඕන. නායක හිමිනමක් පැවැසුවේ අද දායකයන්ට තියෙන ආර්ථික අපහසුතාව පිළිබඳව ඔවුන්ට ගෙන ඒමට සිදුවෙලා තියෙන දානයෙන් වැටහෙන බවයි.

කුමන ආර්ථික තත්ත්වය තුළ වුවත් පින් කිරීම බෞද්ධයන්ගේ සිරිතක්. හැබැයි අද හාමුදුරුවරු කටයුතු කරන්නේ දායකයා පිළිබඳ විශාල අනුකම්පාවකින්. අපේ භික්ෂු පරපුරත්, ත්‍රිවිධ හමුදාවේ පිරිසක් විතර බැට කන පිරිසක් තවත් නැහැ. පසුගිය අවධියේ හාමුදුරුවරු 47 දෙනෙක් රිමාන්ඩ් භාරයේ හිටියා. රණවිරුවෝ තාමත් ඉන්නවා. පොලිසියට විත්තිකාරයෙක් ගෙනැල්ලා එක පොලිස් නිලධාරියෙක් එතැන හිටියේ නැති වුණත් ඔහුත් වැරැදි සාක්ෂියට අහුවෙලා ගියා අවුරුදු හතකට.

රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රාජකාරි කරන්න පසුබට වෙනවා අපි දැක්කා. ගංවතුරක් ආවා. රාජ්‍ය නිලධාරියාට එදා තිබුණු නිදහස අද නැහැ. එදා සමෘද්ධි නිලධාරියා, ග්‍රාම සේවක නිලධාරියා කඩේට ගිහිල්ලා කඩේ ඇරවලා ගංවතුරෙන් අනාථ වෙච්ච අයට කෑම දෙන්න පසුබට වුණේ නැහැ. නමුත් අද දෙපාරක් හිතන්න වෙනවා. ඒ නිසා ඔවුන් දෙපාරක් හිතුවා. ගමේ මිනිසුන් එළියට බැස්සේ නැත්නම් ගමේ හාමුදුරුවරු එළියට බැහැලා උදවු කළේ නැත්නම් ඔවුන් දවස් දෙකක් බඩගින්නේ. පන්සල හැම වෙලාවෙම ඉදිරිපත් වුණා. ජනමාධ්‍ය ඉදිරිපත් වුණා. හමුදාවට කෑම දෙන්න බැහැ. ගියවර ගංවතුර වෙලාවේ හමුදාපතිවරයා වියදම් කරලා උදවු කරපුවට ඔවුන්ව ජ්ඛ්ධ්ච් ගෙනැල්ලා පැය හයක් ප්‍රශ්න කරලා. ඒ නිසා හැමෝම බයයි තමන්ගෙන් විය යුතු රාජකාරිය ඉටු කරන්න. ඒ නිසා ජනාධිපතිවරයා නියෝග කළත් ඒ නියෝගය නීති කඩා හෝ ක්‍රියාත්මක කරන්න මේ අය දෙපාරක් හිතනවා. අපිටත් ජ්ඛ්ධ්ච් යන්න වෙයිදෝ කියලා. ඒක තමයි අද රට ඉදිරියට දුවනවා වෙනුවට එක තැන නැවතිලා තියෙන්නේ. තමන්ගේ දුර්වලකම වහගන්න හොඳම වැඩේ තමයි අපිට චෝදනා කර කර කර සියල්ලේ වගකීම මහින්ද රාජපක්ෂ කිය කිය ඇවිදින එක.

අප තුළින් සාරධර්ම නැති වෙලා කළගුණ සලකන එක අමතක වෙලා යන යුගයක සිටිනා මාළුවේ සීලවංශ හිමියන්ගේ ක්‍රියාව ප්‍රශංසනීයයි. ජාතික වීරවරයෙක් වන සිටිනාමළුවේ ධම්මජෝති නාහිමියන්ගේ පිළිරුවක් හදලා ඒ පිළිරුව විවෘත කිරීමට මට අවස්ථාවක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. පන්සල් ගිනි තියපු, බෞද්ධයා මරා දාපු යුගයක සිටිනාමළුවේ හාමුදුරුවෝ පයින්ම නුවරට වැඩම කරලා සංඝරාජ නායක ස්වාමින් වහන්සේත් එක්ක මේ රට එදා පත්වෙලා තිබුණු තත්ත්වයෙන් මුදාගෙන බුදු දහම නැවත ස්ථාපනය කරන්නට කටයුතු කෙළේ. අදත් ඒ යුගයේ තිබුණු තර්ජනය වෙනත් ආකාරයකින් අපිට සිදු වෙවී පවතිනවා. සිටිනාමළුව ගම ගත්තත් පුවක්දණ්ඩාව ගම ගත්තත් විශේෂයෙන්ම සාහිත්‍යධරයන්, ආගමික නායකයන් විශාල වශයෙන් ප්‍රසිද්ධ වූ සුප්‍රකට පිරිස් බිහිකරපු ප්‍රදේශයක්. අපි දන්නවා මේ නායක හාමුදුරුවරු මේ රටට බුදු දහමට කරපු සේවය. සාහිත්‍යයට දහමට මහත් සේවයක් ඉටු කරපු ප්‍රදේශයක්. ඔවුන් ඉපදුණු ප්‍රදේශයක් වශයෙන් විශාල භික්ෂුන් වහන්සේ බිහිකරපු ප්‍රදේශයක් වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ළමා පරපුරට අපේ ඉතිහාසය ගැන රට ගැන ගම ගැන ගමේ ඉතිහාසය ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්කමක් ඇති කිරීම අපේ වගකීමක්. මේ පිළිරුව විවෘත කිරීම තුළින් ඒ පණිවුඩය අපේ දරුවන්ට දෙනවා. මෙන්න අපේ මුතුන් මිත්තෝ. මේ මුතුන් මිත්තෝ තමයි අපේ රටේ දහම රැකගෙන ජාතිය වෙනුවෙන් එදා සටන් වැදුණේ. මොනතරම් දුක් වින්දද. අපේ යුතුකමක් වගකීමක් කෙළෙහිගුණ සැලකීමක් අපේම ගමේ අපේම හාමුදුරුවන්ට ගෞරව කරන්න පියවර ගැනීම කුඩා දරුවන්ට ආදර්ශයක් බව මම මතක් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා තල්පේ වැල්ලෙතොට සුදර්ශනාරාමාධිපති සිටිනාමළුවේ සීලවංශ හිමියන් විසින් රචිත හෙළ සමනල අස්න ග්‍රන්ථය පිළිගැන්වීමද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.
තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්