බොදු බල සේනාවට බොරුවට චෝදනා කළොත් අපි දන්න දේවල් එළියට දානවා

  👤  3425 readers have read this article !
By mawbima 2017-06-20

බොරුවට බොදු බල සේනාවට ගහන්න උත්සාහ කර අපි දන්න දේ එළියට දාන්න පසුබිම හදන්න එපා යැයි පාඨලී චම්පික රණවක ඇමැතිතුමාට අනතුරු අඟවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (19දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

"ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවිධානය අතර සමීප සම්බන්ධයක් තිබූ බව රහසක් නෙවෙයි. බොදුබල සේනාවේ ඥානසාර හිමියන්, ජාතික හෙළ උරුමයේ හිටපු ජාතික සංවිධායක. විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට උපදෙස් දුන්නාද නැද්ද කියලා මම කතා කරන්නේ නෑ."
"බොදු බල සේනා සහ ජාතික හෙළ උරුමය අතර ඇතිවී තිබෙන ගැටුමේ මැදට මම එන්නේ නැහැ. හැබැයි රණවක ඇමැතිතුමාට අනතුරු අඟවනවා. බොදු බල සේනා සංවිධානය ගැන බොරු ප්‍රකාශ කරලා අපි දන්න දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මට්ටමට අපිව තල්ලු කරන්න එපා කියලා.

ඔවුන් ඥානසාර හිමියන්ව මෙහෙයුවද නැද්ද කියලා දින වකවානු සහිතව මට කතා කරන්න පුළුවන්. මම එතැනට යන්නේ නෑ. මොකද අභ්‍යන්තරේ එකට ඉඳලා සිද්ධ වුණු දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන එක හරි නැහැ. මේ ප්‍රශ්නය ගැන විවෘතව ඉදිරියේදී කතා කරන්න වේවිද කියලා බලමු. ජනතාව නොමඟ යැවීම ඉදිරියටත් සිද්ධ වුණොත් අපිට සිද්ධ වෙනවා මාධ්‍ය ඉදිරියට ඇවිත් ඒවා නිවැරැදි කරන්න.
තාම මම ඒ වාදයේ පැටලෙන්න හිතලා නැහැ. සංවාදය ජනතාව නොමඟ යැවෙන තැනකට තල්ලු වෙනවා නම් අකැමැත්තෙන් වුණත් මට සිද්ධ වෙනවා මා දන්නා ඇත්ත හෙළි කරන්න.

ඒ වගේම බුදුන් වහන්සේ වෙනුවෙන් කාල් මාක්ස් සරණ ගිය වකමුල්ලේ උදිත හිමියන් මාධ්‍ය හරහා ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේ කියනවා "මුස්ලිම් මිනිස්සු කපලා කපලා මුහුදට දාන්නද කියන්නේ. දෙමළ මිනිස්සු කපලා කපලා මුහුදට දාන්නද කියන්නේ. සිංහල මිනිහා විතරද මේ රටේ සුද්ද මිනිහා. එහෙම වර්ග කරන්න බෑ." යනුවෙන්.

එක සිංහලයකුවත් එහෙම ප්‍රකාශ කරලා නෑ. අඩුම තරමේ මුස්ලිම්, දෙමළ මිනිසුන්ට මේ රටෙන් යන්න කියලා කිසිම සිංහලයකු කියා තිබෙනවාද..? අන්තම අන්ත සිංහල අන්තවාදියා ලෙස හංවඩු ගසා තිබෙන ඥානසාර හිමියන්වත් එහෙම කියලා නෑ. එහෙම නම් මේ නැති ප්‍රශ්නයක් නේද හදන්නේ. නැති ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරීම පිළිබඳ ඥානසාර හිමියන්ට කලින් උදිත හිමියන් අත්අඩංගුවට ගන්න ඕන නේද..?

"උන්වහන්සේට මේ ප්‍රකාශය කරන්න යම් ගෙවීමක් කළාද කියලා මම දන්නේ නෑ. නමුත් දෙමළ බෙදුම්වාදීන්ගෙන් හොඳ මිලක් ලබාගන්න පුළුවන් ප්‍රකාශයක් කියලා බය නැතිව කියන්න පුළුවන්. දෙමළ බෙදුම්වාදීන්ට මේ ප්‍රකාශය ජාත්‍යන්තරයට පෙන්වන්න පුළුවන්. ඔවුන්ට තමන්ගේ අරමුණු ඉටු කරගන්න මේ ප්‍රකාශය ප්‍රබලව පාවිච්චි කළ හැකියි."

"සිංහල බහුතරය සහනශීලී ප්‍රතිපත්තිය නිසා හැමෝම ටොකු අනින්නේ සිංහලයාට. ඥානසාර හිමිට බැන වදින එන්.ජී.ඕ. රැලේ එක්කෙනෙක්වත් විග්නේශ්වරන්ගේ, සිවාජිලිංගම්ගේ, අසාද් සාලිගේ අන්තවාදී ප්‍රකාශ පිළිබඳ විවේචනය කර තිබෙනවාද..? ඔවුන්ට එරෙහිව පියවර ගන්න කියලා තියෙනවාද..? අපි විග්නේශ්වරන්ට විරුද්ධව පැමිණිලි කළා. අද වනතුරුත් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ"

"ඒ වගේම මේ ගැනත් කතා කරන්න ඕන. ඉන්දියාව මුහුදු ප්‍රවාහනයේදී මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය තමයි ඉන්දියාව වටා නැව් ගමන් කිරීමට නොහැකි වීම. හනුමා පාලම පැවැත්මත්, පෝක් සමුද්‍ර සන්ධිය නොගැඹුරු වීමත් ඊට බලපා තිබෙනවා. 1997දී ඉන්දියාව හනුමා පාලම බිඳ පෝක් සමුද්‍ර සන්ධිය හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට අවශ්‍ය පසුබිම් හදන්න සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා උත්සාහ කළා. හනුමා පාලම කඩන්න යද්දි වුණේ පාලම වෙනුවට ඊට යොදාගත් නැව කැඩී යෑම. 2000දී සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අතහැරලා දැම්මා".

"චීනය විසින් තායිලන්තයේ ක්‍රා ඇළ කැපීමෙන් පස්සේ ආසියාවේ වැදගත්ම වරාය බවට පත්වන ධන ආකරයක් වන හම්බන්තොට වරාය චීනයට ලබාදීමේ හානිය මීට කලින් අපි පෙන්නුවා. දැන් තිකුණාමලය වරාය ඉන්දියාවට විකුණලා දැවැන්ත ප්‍රති අපනයන ආදායම අහිමි කර ගන්නයි යන්නේ. මේ විකිණීම් කරන්නේ ණය අර්බුදයක් නිසා බව කියන්නේ පට්ටපල් බොරුවක්. ණය ගෙවා ගන්න බැරි නිසා විකුණනවා නම් ලැබෙන මුදලින් ණය ගෙවන්න ඕන. හම්බන්තොට වරාය චීනයට දීමෙන් අපට ලැබෙන මුදලින් එක සතයක් ණය කපා හරින්නේ නෑ. අද මේ ආණ්ඩුවේ නායකයන්ට කෝටි ගණන් වටින සැප වාහන ගන්න, මන්දිර අලුත්වැඩියා කරන්න, ලෝකය පුරා සවාරි යන්න රටේ සම්පත් නොරටුන්ට විකුණනවා. මෙය ලංසි වත්තේ නැන්සි, ෆැන්සි ඇඳුම් ගන්න කිරි හරකා විකුණනවා වගේ වැඩක් බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්