නිතර දකින කුකුළාගේ කරමලේ සුදු යැයි සිතා කරගත් හදිය

  👤  3586 readers have read this article !
By mawbima 2017-06-20

කොළඹ නගරය පුරා ගොඩගැසෙමින් පවතින කුණු ගොඩවල් මේ දිනවල රූපවාහිනි නාළිකාවලත්, පුවත්පත්වලත් මුහුණු පොතේත් නිතර දක්නට ලැබෙන්නේ එය අද විශාල සමාජ ගැටලුවක් බවට පත්වෙමින් ඇති නිසාය. කුණු ප්‍රශ්නය කථිකාවක් ලෙස යළි කරළියට එන්නේ වසර හතක පමණ නිහැ¾ඩියාවකට පසුවයි.

පසුගිය දිනවල මුහුණු පොතේ බහුලව හුවමාරු වූ ඡායාරූපයක පෙන්වා තිබුණේ කොළඹ කොටුවේ පිහිටි නවීකරණය කරන ලද ලන්දේසි රෝහල (ඩච් හොස්පිටල්) අසල විශාල කුණු කන්දක් ගොඩගැසෙමින් පවතින ආකාරයයි. කොළඹට පැමිණෙන සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වන ලන්දේසි රෝහල අවට මෙලෙස කුණු ගොඩගැසීම මුහුණු පොතේ සාමාජිකයන් විසින් දැඩි දෝෂාරෝපණයට ලක්කොට තිබිණි.

මේ දිනවල කුණු එකතු වන එකම තැන ලන්දේසි රෝහල පමණක් නොවුණත් වසර කිහිපයකට පෙර කොළඹ නගරයේ සාඩම්බරයට හේතු වූ සුවිශේෂී ස්ථාන අතර මුල් තැනක් එයට තිබුණු නිසා අද ලන්දේසි රෝහල මුහුණපා තිබෙන තත්ත්වය ඉතා කනගාටුදායක බව කිව යුතුමය. 2011 වසරේ නවීකරණය කරන ලද ලන්දේසි රෝහල සංචාරකයන්ගේ මෙන්ම දේශීයයන්ගේද සිත් දිනාගෙන තිබූ ආපනශාලා හා කඩසාප්පු සංකීර්ණයකි.

ඉපැරැණි ලන්දේසි ගෘහ නිර්මාණ කලාවේ හා ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ කලාවේ සියුම් සම්මිශ්‍රණයක් ලෙස අද සැලකිය හැකි මෙම ගොඩනැඟිල්ල තම මංගල ඡායාරූපවලට පසුබිම ලෙස භාවිත කරන තරුණ විවාහක යුවළ පසුගිය කාලයේ නිතර දක්නට ලැබුණේ එම ගොඩනැඟිල්ලේ හා ඒ අවට පරිසරයේ ඇති දර්ශනීය බව නිසාය. බොහෝ වෙළෙඳ දැන්වීම්වල පසුබිම ලෙසද ලන්දේසි රෝහල හා ඒ අවට පරිසරය යොදා ගැනිණි. අද නම් ලන්දේසි රෝහල අවට පවතින අපවිත්‍රතාව හා දුර්ගන්ධය නිසා එවැනි කටයුතු සියල්ල නතර වී ඇත.

වසර 30ක සිවිල් යුද්ධය 2009දී අවසන් කළාට පසු වසර කිහිපයක් තුළ කොළඹ නගරය තුන්වැනි ලෝකයේ තවත් එක් සාමාන්‍ය නගරයක් තත්ත්වයේ සිට ආසියානු මහාද්වීපයේ ඉතා පිරිසුදු සහ ශෝභමාන නගරවලින් එකක තත්ත්වය දක්වා රැගෙන යෑමේ කාර්යභාරයේදී ලන්දේසි රෝහල නවීකරණය සුවිශේෂී තැනක් ගත්තේය.
2011 වසර වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවැනි පාලන කාලය ඇරැඹී තිබිණි. 2009 මැද වන විට යුද්ධයද අවසන් කර තිබුණු අතර 2010 මැතිවරණවලින් පසුව ජනාධිපතිවරයා නාගරික සංවර්ධන කටයුතුද ඔහු යටතට පවරාගෙන ගෙන තිබිණි. නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කෙරුණේ 1978දී ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පාලන කාලයේදී පාර්ලිමේන්තු පනතකට අනුවය. ජේ.ආර්. සහ ආර්. ප්‍රේමදාස යුගවලදී මෙම අමාත්‍යාංශයෙන් උපරිම පල නෙළාගත්තද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේදී මෙම අමාත්‍යාංශයද අනෙකුත් අමාත්‍යාංශ සේම උදාසීන සහ අක්‍රමවත් භාවයක් පෙන්නුම් කරන ලදී.

1994 සිට 2009 දක්වා අමාත්‍යවරුන් ගණනාවක් අදාළ වගකීම දැරුවද නාගරික සංවර්ධනය නමට පමණක් සීමා වී තිබිණි. යුද්ධය කළමනාකරණයේ දක්ෂතා පෙන්වා නමක් දිනාගෙන සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හැටියටද පත් කිරීම තුළින් මහින්ද රාජපක්ෂ රටට පෙන්වා දුන්නේ ඉදිරියේදී රජය විසින් සිදුකරන්නට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතුවලදී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඇති වැදගත්කම විය යුතුය.

එතෙක් දිගු නින්දකට වැටී සිටි නාගරික සංවර්ධන අධිකාරිය නැවත අළු ගසා නැඟිට ගත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේද ලේකම් ලෙස වැඩ භාරගැනීමත් සමඟය. 2005 - 2009 කාලය තුළ කැපවීමකින් හා සැලසුම්ගත ආකාරයකට යුද කටයුතු සංවිධානය කිරීමට සමත් වූ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන්ද දැක්වූයේ එවැනිම අවධානයකි. අමාත්‍යාංශයේ සියලු කටයුතු කඩිනමින් අධ්‍යයනය කළ ඔහු නාගරික සංවර්ධන අධිකාරියට රට වෙනුවෙන් ඉටු කළ හැකි විශාල වගකීම් හොඳින් තේරුම් ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනඥයකු නොවූ නිසා කතාවට වඩා ඔහුට වැදගත් වූයේ වැඩය. අදාළ නිලධාරීන්ට වගකීම් පවරා ඔවුන්ට නිදහසේ දේශපාලන බලපෑම්වලින් තොරව වැඩ කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දුන් ලේකම්වරයා නිරන්තරයෙන්ම අමාත්‍යාංශයේ කාර්ය භාරය පිළිබඳව ඔවුන්ට මතක් කර දුන්නේය.

සුළු කාලයක් තුළ ප්‍රධාන නගරවල සංවර්ධන කටයුතු වේගවත් කොට නගර අලංකාර කිරීමට මෙන්ම තවත් බොහෝ සමාජයට ඵලදායී කටයුතුවලට ගෝඨාභයගේ පෞද්ගලික මැදිහත්වීම සහ උපදෙස් හේතු සාධක විය. මෙම යුගයේ නගරාලංකරණ කටයුතුවල ප්‍රතිඵල ජනතාව බුක්ති විඳින්නේ දේශපාලන භේදයකින් තොරවය.
කොළඹ නගරයේ කසළ බැහැර වීම ක්‍රමවත්ව සිදු කිරීම ඉපැරැණි ගොඩනැඟිලිවල වටිනාකම නොනසා ප්‍රතිසංස්කරණය කිරීම, මේ වන විට නැවතත් පැරැණි දුගඳ හමන තත්ත්වයට පත්වෙමින් ඇති බේරේ වැව පිරිසුදු කර අලංකාර කිරීම, අධික වැසි ඇතිවීමකදී කොළඹ නගරය යට වීමෙන් ආරක්ෂා කරගැනීමට පිළියම් යෙදීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ තවත් නගර බොහෝමයක් අලංකාර කිරීම, ව්‍යායාම කිරීමට සහ විවේක ගැනීම සඳහා උයන් සහ මංමාවත් ඇති කිරීම සහ වෙනත් බොහෝ ව්‍යාපෘතිවලට පිඹුරුපත් සකස් කෙරුණේ නව නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා අතිනි. රටට ගැළපෙන ව්‍යාපෘති පිළිබඳ හීන දැකීමට පමණක් නොව ක්‍රියාවෙන් ඒවා සැබෑ කිරීමටද ගෝඨාභය හපනෙක් විය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය ගෝඨාභය භාරගන්නා විට අද මෙන්ම කොළඹ කසළ කළමනාකරණ ප්‍රශ්නයක් තිබිණි. ඔහු අනුන්ට ‍ෙදාස් පවරනවා වෙනුවට කළේ ප්‍රශ්නයට හේතුව සොයා බැලීමයි. නගර සභාව විසින් කසළ කළමනාකරණය භාරදී තිබූ පෞද්ගලික සමාගම්වලට ගෙවන මුදලින් විශාල ප්‍රමාණයක් යළි කප්පම් වශයෙන් ගසා කෑම නිසා එම සමාගම් විසින් නගරය පිරිසුදු කිරීමට යොදවන්නේ කොන්ත්‍රාත්තුවේ සඳහන් වෙනවාට වඩා ඉතා අඩු මුදලක් බව ඔහුට සොයාගත හැකි විය.

මීට අමතරව කසළ ගොඩගැසීමට නගර සභාව මඟින් හඳුනාගෙන තිබුණු සෑම තැනකම මාෆියාවක් මඟින් පාලනය වීමද කසළ කළමනාකරණයට බාධාවක් බව දැනගන්නට ලැබිණි. දේශපාලකයන්ට හෝ මැර බලයට පාලනය කළ නොහැකි පුද්ගලයකු වූ ආරක්ෂක ලේකම්වරයාට මෙම ගැටලු විසඳීමට ගත වූයේ ඉතා සුළු කලකි. කොළඹ කුණු එකතු කිරීමේ ප්‍රශ්නය සුළු කලකින් අතුරුදන් විය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය ඊළඟට යොමු වූයේ නගරය අවලස්සන කරමින් තිබුණු රජයට අයත් පැරැණි ගොඩනැඟිලිවලටය. මෙම ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් නගරයට ආලෝකයක් ලැබෙනවා පමණක් නොව ඒවා මහජන භාවිතයට යළි විවෘත කිරීමෙන් රජයට ආර්ථික ප්‍රතිලාභද ලබා ගත හැකි බව ලේකම්වරයා වටහා ගත්තේය.

ඔහුගේ කාලයේ නවීකරණය වූ ගොඩනැඟිලි රාශිය අතර කොළඹ තුරඟ පිටිය ගොඩනැඟිල්ල, ලන්දේසි රෝහල පැරැණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල ආදිය විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ කොළඹ නගරයට අලුත් මුහුණුවරක් ලබාදීමට මෙම නවීකරණය කටයුතුවලින් සිදුවූ දායකත්වය නිසාය.
2010-2012 කාලයේ මම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපති වශයෙන් කටයුතු කළෙමි. මගේ විෂය පථය තුළ රජයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති විවිධ සාකච්ඡාවලදී අප ගෝඨාභය රාජපක්ෂ මහතාද විටින් විට මුණ ගැසිණි. මා වැඩ භාරගෙන මාස කිහිපයකට පසු එලෙස අප හමුවූ යම් රැස්වීමකදී ආරක්ෂක ලේකම්වරයා කොළඹ කොටුවේ පිහිටි ලන්දේසි රෝහල ගැන විමසීය.

'මොන අමාත්‍යාංශයටද අර කොටුවේ පොලිසියේ කට්ටිය නතර වෙලා ඉන්න ගොඩනැඟිල්ල අයිති?'
ගොඩනැඟිල්ලේ අයිතිය ඒ වන විට තිබුණේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේය. මෙම ගොඩනැඟිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පරිවර්තනය කිරීමට කලකට පෙර යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද යුද්ධය නිසා ආයෝජනය කල් ගොස් තිබිණි. ඒ වන විට එම ගොඩනැඟිල්ල පැවැතුණේ ශ්‍රී ලංකා පොලිසියේ සුළු නිලධාරීන්ගේ නේවාසිකාගාරයක් ලෙසය. දශක ගණනාවක් පුරා හරියාකාරව නඩත්තු නොකිරීම නිසා ගොඩනැඟිල්ලේ වහලවල් කැඩී වල්බිහි වී එයට ඉතා නරක කලදසාවක් ලබා තිබිණි.

ඇත්තෙන්ම එදා කොළඹ ලෝක වෙළෙඳපොළ ගොඩනැඟිල්ල ඉදිරියේ තිබුණු සියලුම පැරැණි ගොඩනැඟිලි තිබුණේ එලෙස ජරාජීර්ණවය.
මම මේ පිළිබඳ විස්තර පවසා මේ පිළිබඳ ඔහුගේ ඇති උනන්දුවට හේතුව අසා සිටියෙමි.

'ඕක හෝටලයකට දෙන්න එපා නාලක. හෝටලේකට එන්න පුළුවන් මිනිස්සු කිහිපදෙනාටයි. අපි ඕක හුඟ දෙනකුට එකවර එන්න පුළුවන් විදියේ තැනක් කරමු. ඔතන අපිට රෙස්ටුරන්ට්ස්, ෂොපින්, එන්ටර්ටේන්මන්ට් තියෙන තැනක් කළොත් ළඟපාත හෝටල්වලට එන සංචාරකයෝ ඔතැනට ඒවි. එපමණක් නෙවෙයි. බලන්න ඒ අවට මොනතරම් සුද්දගෙ කාලේ ගොඩනැඟිලි තියෙනවද? ඕවා අලුත්වැඩියා කරලා ගත්තොත් ඔය කොටුව පළාතම අපිට සංචාරක කලාපයක් කළ හැකියි.

මෙම නිර්මාණශීලී අදහස ගැන සංචාරක මණ්ඩලයේ සභාපති ලෙස මම අතිශයින් සතුටු වුණෙමි. සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ආදායමක් ලබන්නට නම් කොළඹට පැමිණෙන සංචාරකයන්ට ලංකාවේ අන් ප්‍රදේශ බලා පිටත් වීමට පෙර නගරය තුළ දින කිහිපයක් ගත කරන්නට සිතෙන ආකාරයේ පරිසරයක් කඩිනමින් නිර්මාණය කළ යුතු බව විෂය භාර ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ මහතාද හැම විටම පෙන්වා දුන් කරුණකි. ඒ නිසා කොටුව ප්‍රදේශය සංචාරක කලාපයක් කිරීමේ අදහසට ඇමැතිවරයාගේද පූර්ණ අනුමැතිය ලැබිණි. දින කිහිපයක් තුළ ලන්දේසි රෝහලේ අයිතිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සිට නාගරික සංවර්ධන අධිකාරියට මාරු කිරීමට කටයුතු යෙදවුණේ ඒ අනුවය.

මාස කිහිපයක් ඇතුළතදී ගරා වැටී තිබුණු ලන්දේසි රෝහල (ඩච් හොස්පිටල්) අති රමණීය ආපනශාලා හා සාප්පු සංකීර්ණයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ නිම වෙනවා දැකීමට අපට හැකි විය. කලකට ඉහත තුවාලකරුවන්ගෙන් හා ලෙඩ්ඩුන්ගෙන් පිරී තිබුණු වාට්ටු ආපනශාලා සහ නවීන පන්නයේ සාප්පු බවට පත් කෙරිණි. සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවූයේ ගොඩනැඟිල්ලේ පෞරාණික ගෘහ නිර්මාණ කටයුතුවලට හානි නොවන ලෙසය.

විශාල බිත්ති, තේක්කවලින් සෑදූ බාල්ක, දැවමය ‍ෙදාරවල් සහ ජනේල ලන්දේසි ගෘහ නිර්මාණ රසය එලෙසම පෙන්වමින් අදටත් එහි ඇත. මෙහි සෑම ආපනශාලාවකම සහ සාප්පුවකම පෞරාණික ලන්දේසි අභ්‍යන්තර සැකැස්ම එලෙසින්ම තබා නිර්මාණය කිරීමට ප්‍රතිසංස්කරණය කටයුතු භාරව සිටි ගෘහ නිර්මාණ ශිල්පීහු වගබලාගත්හ. කොළඹ නගරය තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රධානතම ස්ථාන අතරට ලන්දේසි රෝහල පත්වන්නට එයද එක් හේතුවක් විය.

ලන්දේසි රෝහල පමණක් නොව පැරැණි මුළු කොටුව ප්‍රදේශයම අද වන විට වෙනස්ව ගොසිනි. වසර හතරකට ඉහත මෙය අවට පරිසරය තිබූ තත්ත්වය නැවත කිසි කෙනකුට මතක් කරදීමට ලකුණක් හෝ නවීකරණය කිරීම්වලදී ඉතිරි වී නොමැත. ඒ තරම් අනාගත අලංකාරයක් ඉපැරැණි රෝහලක් තුළ එදා ගෝඨාභය රාජපක්ෂ නොදකින්නට අදටත් මෙය ගරා වැටුණු ගොඩනැඟිල්ලක් ලෙසින් කොළඹ නගරය අවලස්සන කරනු ඇත.

යුද්ධයෙන් පසු වසර කිහිපයක් තුළ කොළඹ නගරය මොනතරම් වේගයෙන් නවීකරණය වූවාද යන්න අද බොහෝ දෙනකුට මතක නැත. 2009 වන විට කුණු කසළින් පිරි දුගඳ හමන නගරයක්ව තිබූ අගනුවර 2013- 2014 වන විට ඉතා පිරිසුදු නගරයක් බවට පත්වී තිබිණි. ලංකාවට නිතර පැමිණෙන සංචාරකයන් මෙම වෙනස දුටුවේ ආශ්චර්යයක් ලෙසයි.

ඒ දිනවල පාරේ තැනින් තැන නතර වී ඡායාරූප ගන්නා විදේශිකයන් ඉතා සුලබ දසුනක් විය. 2015 වසර මුලදී සුප්‍රකට මාස්ටර් කාර්ඩ් ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකින් ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස ලංකාව තෝරාගනු ලැබූ බව පුවත්පත්වල පළවිය. සමීක්ෂණයට අනුව 21.1% වර්ධන වේගයක වාර්තා කොට තිබූ ලංකාවට දෙවැනි වී තිබුණේ 20.7%ක වර්ධන වේගයක් පෙන්වූ චීනයේ සයිශුන් ප්‍රාන්තයේ අගනුවර වන ශෙන්ගූ නගරයයි.

එහෙත් වසර කිහිපයක ඇවෑමෙන් ඒ සියල්ල කණපිට හැරී ඇත. ඉතිහාසය නැවත රඟදැක්වෙමින් කොළඹ නගරය ජරාජීර්ණ වන්නට පටන්ගෙන ඇත. නගරයේ බොහෝ තැන්වල කුණු එකතු වී දුගඳ හමන අයුරු දැකගත හැකිය. ගෙවල්වලට කුණු එකතු කිරීමට සති ගණනාවකට කවුරුවත් ආවේ නැහැ කියා මැසිවිලි නඟන මිනිසුන් අපමණය.

නිතර දකින කුකුළාගේ කරමලය සුදුයි කියා කියමනක් ඇත. එදා සුන්දර නගරයක ජීවත් වූ පුරවැසියන්ට තම වටපිටාවේ සිදුවූ වෙනස ගැන අගයක් නොතිබිණි. අද වේගයෙන් අහිමි වෙමින් යන එම පරිසරය දෙස බලා කම්පා වෙනවා හැර ඔවුන්ට කරන්නට වැඩි යමක් ඉතුරුව නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්