විපර්යාශවලට මුහුණ දෙනවා වගේම නිපැයුම් දියුණු කරන්නත් කාලය ඇවිත්

  👤  3335 readers have read this article !
By mawbima 2017-06-20

ජේ. ටී. ද සිල්වා

කාලගුණික විපර්යාසවලට මුහුණදීමට අප සූදානම් විය යුතු වගේම, දේශගුණික වෙනස්වීම්වලට වඩාත් ගැළපෙන රැකියා, හරිත වෙළෙඳපොළ වගේම නිෂ්පාදන දියුණු කර ගැනීමට දැන් කාලය පැමිණ ඇතැයි ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 106 වැනි සැසිවාරය අමතමින්, කම්කරු හා වෘත්තීය සමිති සබ½දතා සහ සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න අවධාරණය කර ඇත.
කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සැසිවාරයේදී අදහස් දක්වමින් වෙනස් වන දේශගුණික තත්ත්වය සමඟ වැඩ කිරීම සහ හරිත වැඩපිළිවෙළට වඩාත් කාලෝචිත යෝජනාවලියක් ඉදිරිපත් කළ බව ඇමැතිවරයා සිය දේශනයේදී සඳහන් කර ඇත.

"අපි රටක් ලෙස අන්තර්ජාතික කම්කරු ප්‍රඥප්ති 43ක් සහ ඒ යටතේ ඇති අනෙකුත් අන්තර්ජාතික කම්කරු සම්මුති පිළිගෙන ක්‍රියාත්මක කිරීමට කැපවී සිටිනවා. විශේෂයෙන් ළමා ශ්‍රමය මෙලොවින් තුරන් කිරීමේ අපගේ ක්‍රියා පද්ධතිය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා. එසේම සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සංක්‍රමණිකයන්ට අදාළව සිදු කළයුතු කාර්යයන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ නියමිත ක්‍රමවේදයන්ට අනුව අප විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මේ සියලු කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් ලබාදෙන මාර්ගෝපදේශකත්වය, තාක්ෂණික උපදෙස් අපට විශාල පිටිවහලක් බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.

වසර ගණනාවක් අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය අපට නැවත ලබාදීමට අන්තර්ජාතික පිළිගත් කම්කරු සම්මුති 8ක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව පරීක්ෂා කළ බව සඳහන් කළ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, රටේ සංවර්ධනයට විශාල ශක්තියක් වන එම බදු සහනය නැවත ලබාගැනීමේදී අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ලැබුණු සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තුතිය පිරිනමා ඇත.

අප සහ අනෙකුත් රටවල් විසින් පිළිගෙන තිබෙන බොහෝ කම්කරු ප්‍රඥප්තීන් සහ සම්මුති ක්‍රියාත්මක කිරීම පිළිබඳව පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම, අවශ්‍ය සංශෝධන කිරීම, තාක්ෂණික සහාය ලබා දෙමින් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහාය අඛණ්ඩව අපේක්ෂා කරන බව ඇමැතිවරයා සිය දේශනයේදී සඳහන් කර ඇත.

අද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිත් ගංවතුරෙන් සහ නායයෑම්වලින් විශාල ආපදාවකට ලක්ව සිටින කාලපරිච්ඡේදයක් බවත්, ශ්‍රී ලාංකික ජනතාව විනාශ වූ ජනජීවිත නැවත ගොඩනැඟීමේ සටනක මේ මොහොතවන විටත් යෙදී සිටින බැවින් එම කාලගුණික විපර්යාසවලට මුහුණදීමට අප සූදානම් විය යුතු බවත් ඇමැතිවරයා එහිදී පෙන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්