උතුරු පළාතේ උපාධි ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ දෝෂ

  👤  3374 readers have read this article !
By mawbima 2017-06-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාතේ රජයේ පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම පිණිස පසුගිය 17 වැනි සෙනසුරාදා පැවැති තරග විභාගයේදී අයැදුම්කරුවන්ට ලබාදුන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ දෝෂ ගණනාවක් තිබීම නිසා විභාගයට මුහුණ දුන් පිරිසට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි විභාග අපේක්ෂකයෝ කියා සිටිති.
එම ප්‍රශ්න පත්‍රයේ බොහෝ ප්‍රශ්න වැරැදි බවත් ඇතැම් ප්‍රශ්නවලට ලබාදීමට කිසිදු පිළිතුරක් නොමැතිව තිබූ බවත් විභාගයට මුහුණ දුන් පිරිස පවසති.
බුද්ධි පරීක්ෂණයේ ගණිත ගැටලු සියල්ලම පාහේ වැරැදි බවත් බොහෝ තැන්වල මුද්‍රණ දෝෂ හා වියරණ දෝෂ තිබීම හේතුවෙන් තමන් සපයන ලද පිළිතුරු සියයට සියයකින් නිවැරැදිව නැතැයි පවසන අපේක්ෂකයෝ සාවද්‍ය ලෙස සකසන ලද ප්‍රශ්න සඳහා තමන්ට නියමිත ලකුණු ප්‍රමාණය ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවද කියා සිටිති.

මෙම විභාගයෙන් සමත් වීම සඳහා ලබා ගත යුත්තේ ලකුණු 40කි. එහෙත් ගුරු පත්වීම ලබාදීමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිරිසට ගුරු පත්වීම් ලැබෙන බැවින් ලකුණු සංඛ්‍යාව අඩුවීම තමන්ට ගුරු පත්වීමක් නොලැබී යෑමට හේතුවක් වන බවද විභාගයට මුහුණ දුන් පිරිස පෙන්වා දෙති.

විභාග ප්‍රශ්න පත්‍රය මුලින්ම දෙමළ භාෂාවෙන් සකස්කොට පසුව එය සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබීම නිසා වියරණ හා වචන දෝෂ ගණනාවක්ම තිබී ඇත.
මේ සියල්ලම සිදුව ඇත්තේ තමන්ගේ වරදකින් නොවන නිසා දෝෂ සහගත සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇති පිරිසට නියමිත ලකුණු ප්‍රමාණය ලබාදෙන ලෙසත් මේ අසාධාරණය සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය යුතු බවත් විභාගයට මුහුණ දුන් පිරිස කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්