නියං රකුසාගෙන් බැටකන අනුරාධපුර වැසියෝ

  👤  3345 readers have read this article !
By mawbima 2017-06-20

පුබුදුපුර _ රුචිර සේනාරත්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන බහුතරයකගේ ජීවනෝපාය වී ඇත්තේ කෘෂිකර්මාන්තය හා ඊට අනුබද්ධිත කටයුතුය. අහස් වැසි උපයෝගී කරගනිමින් අස්ථාවර වාරිමාර්ගයන් යටතේ ඔවුහු සිය ජීවනෝපායන් කරගෙන යති. ස්වභාවධර්මයේ කුරිරු බලපෑම් හමුවේ ඔවුන්ගේ ජීවිත දරිද්‍රතාවයේ පතුළට ඇද දමනු ලබන්නේ බලහත්කාරයෙන් මෙනි.

මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයට මෝසම් වැසි නොලැබීමෙන් යල-මහ දෙකන්නයේම ගොඩ-මඩ වගාවන් නියං රකුසා විසින් බිලිගෙන ඇත.
මහවිලච්චිය ජලාශයේ ජලමට්ටම අක්කර අඩි හාරදහස දක්වා පහත බැස ඇත. මේ යටතේ ඇති කුඹුරු අක්කර දෙදාස් නවසිය විසිනවයක් කන්න තුනක් තිස්සේ පුරන් වී ගොසිනි.

කුඩා වැව් එකසිය පනස් පහක් සම්පූර්ණයෙන්ම සිඳී ගොසිනි. ඒ යටතේ ඇති කුඹුරු අක්කර හාරදාස් හාරසීයක් දෙකන්නයක් තිස්සේ පුරන් වී ගොස් ඇත. වී ගොවිතැන්වලට අමතරව බඩඉරිඟු හෙක්ටයාර් 1190ක් ද වියළි පරඬලාවන්් බවට පත්ව ඇත.
ඊට අමතරව මහ කන්නයේ අහස් වැසි අපේක්ෂාවෙන් වගා කෙරුණු උඳු හෙක්ටයාර් 1864ක් සම්පූර්ණයෙන්ම මැරී ගොසිනි. නියඟය නිසා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි පවුල් 7280ක් විපතට පත්වී සිටිති.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයකම කළ සංචාරයකින් දක්නට ලැබුණේ ගොවීන්ගේ මැලවී ගිය මුහුණුය. වෙනදාට අස්වනු නෙළන සමයේ ඔවුනගේ මුහුණුවල තිබුණු සතුටු සිනහවත් නියං රකුසා විසින් උදුරා ගෙනය. දුක වේදනවාව මුසුවූ ඔවුනගේ කේඩෑරී වී ගිය ශරීර දෙස නෙත්හැර බලන මනුෂ්‍යත්වය හඳුනන කාගේත් සිත්වලට දැනෙන්නේ දැඩි කම්පාවකි.

වෙනදා පොසොන් මහේදී ඕලු, නෙලුම්, මානෙල් හා කෙකටිය මලින් සැරසී තිබුණු වැව් කොමළියන්ගේ සුන්දරත්වය ගිලිහී ගොසිනි. වැව් ආශි්‍රතව සැරිසැරූ ජලජ පක්ෂීන්ද ප්‍රදේශය අතහැර ගොස් ඇත. බැලු බැලූ අත දක්නට ඇත්තේ වියළී ගිය පරඬලාවන්ය. ජලය ඉල්ලා හිස් අහස දෙස දෑස් යොමුකර සිටින ගොවීන්ගේ දුක් අඳෝනා දසතින් ඇසේ.

මැදඔයාමඩුව ගම්මානයේ එන්. අබේරත්න මහතා ජීවිතයේ සැ¼දෑ සමයේ පසුවෙයි. අපි ඔහුගේ නිවෙසට ගිය මොහොතේ ඔහු ගෙමිදුලේ ගස් සෙවණක බංකුවක් මත වාඩි වී බුලත් විටේ රස බලමින් සිටියේය.

මම "මව්බිම" පුවත්පතෙන් පැමිණි බව කී විට ඔහු අත තිබුණු බුලත් මල්ල අප වෙත දිගු කළේය. වතුර වීදුරුවක් ගෙනැවිත් ආගන්තුක සත්කාර කළ ඔහු අපගේ සිත පාරවන කතාවක් කීවේය. "ආයුබෝවන් කහට ටිකක් වත් දෙන්න ගෙදර හරියේ හකුරු කෑල්ලක්වත් නෑ" යනුවෙන් ඔහු කතාවට මුල පිරුවේය.
අපි ගොවිතැන් බත් කරලා තුන්වේලටම බත් කාපු අය. කන්න තුනක් ඉඳලා තියෙන නියඟය හින්දයි අපි දුප්පත් වෙලා ඉන්නේ. වැව් හිඳුණට කමක් නෑ. මම වගා ළිඳක් කපාගෙන තියෙනවා. ඒකෙත් වතුර හිඳිලා වගාවන් කර ගන්න බෑ. මම මහ කන්නයේ කුරහන් වගයක් වැපිරුවා. ඒවායේ කරල් පීදෙනකොට වතුර නැතිව මැරිලා ගියා. අද අපට ජීවත් වෙන්න විදියක් නෑ. ගෙදරක වී ඇටයක් නෑ. රජයෙන් අපට රුපියල් දහදාහක් දෙනවා කිව්වා. නමුත් හම්බවුණේ රුපියල් අටදාස් පන්සීයයි. රුපියල් අටදාහකින් මාසයක් පවුලකට ජීවත්වෙන්න පුළුවන්ද..? හාල් කිලෝව රුපියල් අනූපහයි. හැත්තෑ ගණන්වලත් මේ වගේ නියඟයක් ආවා. එදා අපට සහනාධාර වැඩපිළිවෙළක් දුන්නා. හාල්, පරිප්පු, කරවල ඇතුළු තවත් දේවල් එදා අපට ලබා දුන්නා.


අද මේ ගමේ මිනිස්සු හුඟ දෙනෙක් ඉන්නේ බඩගින්නේ. රජය ඉක්මනට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළොත් අපිට කුසගින්නේ දරුමල්ලන් එක්ක මැරෙන්නයි සිද්ධ වෙන්නේ.

එච්.ජී. සුමතිපාල මහතා මෙසේ කීවේය.
අපි වව්නියාව පාවක්කුලම ඉඳලා මෙහාට ආවේ අසූහතේ. අසූ පහේ අපට කොටි ගැහැව්වා. තන්තිරිමලේ නායක හාමුදුරුවෝ තමයි අපිට මේ ගම්මානය ලබාදුන්නේ.
කොටි ගහපු වෙලාවේ කොහොම හරි ජීවිත බේරාගත්තා. ඒත් මේ නියඟයෙන් නම් බේරෙන්න විදියක් නෑ. අද අපේ වැව හැඳිලා. නාගන්න තැනක් නෑ. හරකෙකුට බොන්න වතුර ටිකක් නෑ. ළිං හිඳිලා. අපට කන්න දෙයක් නෑ. බොහෝම දුකසේ කැඳ බිබී දරුමල්ලොත් එක්ක කාලය ගෙවන්නේ. අද මුළු ගමම මළ ගෙයක් වගේ. අපි මේ දුක ප්‍රාදේශීය ලේකම්තුමාට කිව්වා. එතුමා නම් ගමට ඇවිත් අපේ දුක සැප විමසලා යනවා. එතුමාට කරන්න දෙයක් නෑ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් මුදල් හම්බ වෙලා නෑ කියලයි කියන්නේ. දරු පැටව් බත් ඉල්ලලා අඬනවා. අපි ජීවත් වෙන්නේ තුන්වේලටම එක වේලක් කාලා. කඩයකින් ළමයකුට කිරිපැකට් එකක්, බනිස් ගෙඩියක්වත් අරගෙන දෙන්න බෑ. අතේ සතේ නෑ.

ඔයාමඩුව ශ්‍රී දේවෝපාරාමාධිපති නාගදරණෑවේ පඤ්ඤාකිත්ති හිමියෝ
මේ ප්‍රදේශයට දැන් කන්න තුනක් වැස්ස ලැබුණේ නෑ. අද මුළු විලච්චියම විශාලාමහනුවර වගේ. මිනිස්සු ජීවත් වෙන්නේ බොහෝම දුකසේ. මිනිසුන්ට කන්න දෙයක් නෑ. ළිං හිඳිලා. ළිංවල කිවුල්ගතිය වැඩිවෙලා. සමහර ළිංවල ටික ටික වතුර තිබුණත් ඒවා මිනිසුන්ට බොන්න බෑ. මේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් ඉන්නවා. සල්ලි දීලා බෝතල් වතුර ගන්ඩත් මිනිසුන්ට ශක්තියක් නෑ.

මටත් දැන් සතියක් දෙකක් ඉඳලා පේරුදානය හම්බවෙන්නේ නෑ. මට දානය දෙන්න දායකයොන්ට තියෙන්න එපැයි. මට දානය නැති වෙලාවට මම විස්කෝතු දෙකතුනක් කාලා වතුර ටිකක් බීලා නිදාගන්නවා.
මීට පෙර හත්තෑ ගණන්වලත් නියං සායක් ආවලු. එදා මිනිසුන්ට සහනාධාර ක්‍රමවේදයකට දුන්න නිසා නියඟය එච්චර දැනිලා නෑ. මම ජනාධිපතිතුමාගෙනුයි. අගමැතිතුමාගෙනුයි කාරුණික ඉල්ලීමක් කරනවා. මේ දුකට පත්වෙලා ඉන්න අහිංසක ජනතාවට කඩිනමින් නියං සහනාධාර වැඩපිළිවෙළක් දියත් කරන්න කියලා. එහෙම නොවුණොත් මේ අහිංසක මිනිසුන් කුසගින්නේම මැරිලා යයි.

රටේ ඉන්න කෘතවේදී ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා නියඟයට පත්වෙලා ඉන්න අහිසංක ජනතාවට මොනවා හරි උපකාරයක් කරන්න කියලා. ජල සම්පාදනයෙන් බවුසරයක් මඟින් වතුර ගෙනත් දෙන ක්‍රමයක් කඩිනමින් සලසන්න. නැත්තම් මේ අහිංසක මිනිස්සු ටික ඉවරයි.

ඔයාමඩුව රෝහණ ජයලත් මහතා
අද මේ නියඟය බලපාලා තියෙන්නේ මිනිසුන්ට විතරක් නෙවෙයි. සතා සිවුපාවුන්ටත් මේක තදින්ම බලපාලා තියෙනවා. අපේ ගමේ හරක් වතුර බොන්න වැව පැත්තට දිවගෙන යනවා. වැව හිඳිලා. වතුර බොන්ඩ යන ගවයන් කිහිපදෙනෙක්ම වැව මැද එරුණා. අපට නාගන්ඩ තැනක් නෑ. ළිං හිඳිලා. ළිංවලින් මුළු දවසම වතුර අඩියක් විතර එකතු කරගන්න පුළුවන්. අපි නාන්නේ දවස් දෙක තුනකට එකවරක්. රජයේ මැති ඇමැතිවරුන්ට ඇයි අපේ දුක දැනෙන්නේ නැත්තේ.

ඒ.එම්. වසන්ත කුමාර මහතා
මම බඩඉරිඟු අක්කර පහළොවක් වගා කෙරුවා. ඔක්කොම මැරිලා ගියා. රජයෙන් කීවා ගොඩ භෝග වගා කරපු අයටත් රුපියල් දහදාහක් ලබා දෙනවා කියලා. අපි ෆෝම් පිරෙව්වා. මේ වනකම් සත පහක් ගොඩ භෝග වගා කරපු කාටවත් ලැබිලා නෑ.
රජයේ ඉන්න මැති ඇමැතිවරු ඇයි මේ වගේ ව්‍යසනයකදීවත් මේ අහිංසක මිනිසුන්ට උදවු නොකරන්නේ. අද මම ජීවත් වෙන්නේ කිරි එළදෙනුන් දෙන්නට පින්සිද්ධ වෙන්ඩ. හරකෙකුට කණ්ඩවත් තණකොළ ගහක් නෑ. හරියට කෑම නැති නිසා වෙනදා වගේ කිරි ගන්ඩත් බෑ.

රජයේ මැති ඇමැතිවරු සැප වාහනවල යනවා. අපි ඉන්නවද මැරුණද කියලා බලන්න පැත්ත පළාතකට එන්නේ නෑ. හැබැයි මේ විදියට ගියොත් මේ ගම්වල ඉන්න අහිංසක ගොවියෝ කුසගින්නේ මැරිලා යනවා. එහෙම වුණොත් රජයට සිද්ධ වෙනවා මේ අහිංසක මිනිසුන්ගෙ මරණවලට ගෙවන්න. එහෙම වෙන්ඩ ඉඩනොදී රජය මැදිහත් වෙලා මේ අහිංසක ගොවීන්ට ක්‍රමවත් සහනාධාර වැඩපිළිවෙළක් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඒ.ආර්. තිලකරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී මෙසේ පැවසීය.
මහවිලච්චිය මහ වැවේ මේ වන විට ජලමට්ටම අක්කර අඩි හාරදහසට පහත බැහැලා. සුළු වාරිමාර්ග ඔක්කොම සිඳිලා. ගොවීන් විශාල ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තියෙනවා ගවයන්ට බොන්න දෙන්න ළිං කපලා දෙන්න කියලා. නියඟය නිසා වනසතුන්ටත් බොන්න ජලය නෑ. වල් අලින් වතුර සොයාගෙන ගම් වදිනවා. මෙයත් විශාල ප්‍රශ්නයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්