තාක්ෂණික ගැටලුවලට ජාතික වැඩපිළිවෙළක්

  👤  3314 readers have read this article !
By mawbima 2017-06-20

හර්ෂනී අර්සකුලරත්න

තාක්ෂණික මෙවලම් සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයේදී පාසල් සිසුන්ට, ගුරුවරුන්ට මෙන්ම මවුපියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මේ වන විට පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද පිහිටුවමින් ගුරුවරු සියයකට පමණ මෙවැනි සිදුවීම්වලින් ආරක්ෂා වීම පිළිබඳ පුහුණුව ලබාදී ඇත. එසේම තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ පාසල් මට්ටමින් ස්ථාපිත කිරීමද ආරම්භ කර ඇත.

මෙසේ විසඳුම් ලබා දීම සඳහා සකස් කරන ජාතික මට්ටමේ වැඩපිළිවෙළදී පාසල් සිසුන්ට, ගුරුවරුන්ට මෙන්ම මවුපියන්ට මුහුණපෑමට සිදුවන ගැටලුවලදී අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහාය වේ.
අන්තර්ජාලය, පරිගණකය, ජංගම දුරකතනය ඇතුළු තාක්ෂණික මෙවලම් තමන්ට මෙන්ම සමාජයට හිතකර අයුරින් භාවිත කිරීමටත්, අනිසි ලෙස ක්‍රියාත්මක වී ඒවා භාවිතයෙන් මතුවන ගැටලුවලදී නිසි මඟ පෙන්වීම මේ ජාතික වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

මේ සඳහා අවශ්‍ය කෙරෙන තොරතුරු මෙන්ම මඟ පෙන්වීම සඳහා වෙබ් අඩවියක් ද ස්ථාපනය කිරීමට මෙන්ම මතුවන ගැටලුවලට සවන් දීමේ සහ පිළිතුරු හා විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද එම නියෝජිතායතනය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්