විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගය අස්කර ගැනීමේ තීරණයක්

  👤  3346 readers have read this article !
By mawbima 2017-06-20

මුලතිව් - ශෂිකුමාර්, හර්ෂණී අර්සකුලරත්න

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා විසින් ඊයේ (19දා) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා වෙතට ලිපියක් මඟින් දැනුම් දී ඇත.
යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙන ඒමට හැකිවූ බවද සම්පන්දන් මහතා එහිදී සඳහන් කර ඇත.

මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු පක්‍ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලටද ඇඟිලි ගැසීම් නොකරන බවත් සම්පන්දන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දූෂණ චෝදනා සනාත නොවූ අමාත්‍යවරුන් දෙදෙනකු මසක නිවාඩුවක් සහිත අමාත්‍ය ධුර අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු පක්‍ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමැතිවරයා එකඟතාව පළකරමින් ලිපියක් යැවීමත් සමඟ මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවට විපක්‍ෂ නායකවරයා තීරණය කර තිබෙන අයුරු පෙනී යයි.
උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති පී. සත්‍යලිංගම්, ධීවර හා ප්‍රවාහන ඇමැති පී. ඩෙනීස්වරන් මන්ත්‍රිවරුන්ට මාසයක කාලයක අනිවාර්ය නිවාඩු ගන්නැයි උතුරු පළාත් මහ ඇමැතිවරයා කළ නියෝගය අත්හිටුවා දැමීමට ඔහු තීරණය කර ඇත.

මේ බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්පන්දන් වෙත ඊයේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් ලිඛිතව දැනුම් දී ඇත.
විපක්ෂ නායකවරයා උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ තීරණය ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්