සිල්රෙදි නඩුවට අලුත් සාක්කිකරුවන්ට ඉඩ නෑ

  👤  3389 readers have read this article !
By mawbima 2017-06-20

කේ. එස්. උදයකුමාර්

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් යොදා ගනිමින් දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම සම්බන්ධයෙන් එම කොමිසමේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අලුතින් සාක්ෂිකරුවන් දෙදෙනකු එක් කිරීමට අවසර දෙන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (19දා) ප්‍රතික්ෂේප කළේය.

ඉකුත් දා නඩුව කැඳවූ අවස්ථාවේදී ඉල්ලීමක් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙම නඩුව සඳහා පැමිණිල්ල වෙනුවෙන් අලුතින් සාක්ෂිකරුවන් දෙදෙනකු එක් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළකළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම් අවසන් කර විත්තියේ සාක්ෂි කැඳවීමද සිදුවන අවස්ථාවක මේ අයුරින් සාක්ෂිකරුවන් අලුතින් එක් කිරීමට කරන ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බව කීය. මේ තුළින් විත්තිකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන හෙයින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළේය.

ඒ අනුව නඩු විභාගය ජූලි මස 10 වැනිදාට කල් දැමූ අධිකරණය එදිනට විත්තියේ දේශන ඉදිරිපත් කරන මෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නම්කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්