රටට මහා පාඩුවක් කළ බැඳුම්කර වංචාව සිදු වුණේ අර්ජුන්ගේ සෘජු මැදිහත් වීමෙන්

  👤  3467 readers have read this article !
By mawbima 2017-06-20

කමල් මහේන්ද්‍ර වීරරත්න

අපේ රටට කිසිසේත්ම දරාගත නොහැකි තරමේ බරපතළ විනාශයක් සිදුකරමින්, රුපියල් බිලියන දහස් ගණනක අලාභයක් සිදුකළ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර...ගනුදෙනුව සිදුව ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සෘජු මැදිහත්වීම මතම බව මා මගේ විගණන වාර්තාවේ කෙළින්ම පෙන්වා දී ඇත්තේ ඒ පිළිබඳව ප්‍රමාණවත් කරුණු විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇති නිසා යැයි සත්වන දිනටත් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාටම පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.

රජයේ විගණකාධිපතිවරයා එසේ කියා සිටියේ ඊයේ (19දා) සත්වන දිනටත් කොමිසම හමුවේ ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සාක්ෂිදීමට පැමිණි අවස්ථාවේ, චූදිත අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම තෙවන දිනටත් සිදුකරන අවස්ථාවේදීය.

ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පිළියෙල කොට ඇති පරීක්ෂණ වාර්තා සිවුවන වෙළුමේ 8.2 පිටුවට අවධානය යොමුකරවමින් විගණකාධිපතිවරයාගෙන් එම ප්‍රශ්නය විමසනු ලැබීය.

විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළියෙල කොට ඇත්තේ කිසිදු සාධාරණ පදනමකින් තොරව පක්ෂග්‍රාහීව හා ද්වේශ සහගතව බවට නීතිඥවරයා මෙහිදී යෝජනා කළ අතර විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා එම යෝජනාව තරයේම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.
තමා විගණකාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ තම පෞද්ගලික න්‍යාය පත්‍රයකට හෝ වෙනත් කාගේ හෝ න්‍යාය පත්‍රයකට අනුව නොවන බවද ඉතාමත්ම වගකිවයුතු බරපතළ කාර්යාවලියක් ඉටුකිරීමට ඇති තම තනතුරේ කටයුතු සිදුකළ යුතු ආකාරය ඉතාමත්ම පැහැදිලිව සංස්ථාපිත පනතකින් තහවුරු කොට දක්වා ඇති බවද එම විනය මත පිහිටා කටයුතු කිරීමට විගණකාධිපතිවරයකු අනිවාර්යයෙන්ම බැඳී සිටින බවද තමා මෙහිදී ක්‍රියා කළේද ඒ ආකාරයෙන්ම බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොමිසමේ සෙසු සාමාජිකයන් දෙපොළ වන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහතාගේද සහභාගිත්වයෙන් රැස්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්