වසර 17කට පසුව ගාල්ලේදී එක් දින තරග

  👤  2783 readers have read this article !
By mawbima 2017-06-19

වසර 17කට පසුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවස්ථාව සලසමින් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක් දින තරග පහෙන් පළමු එක් දින තරග දෙක ගාල්ලේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව දෙරට අතර එක් දින තරගාවලියේ ජුනි මස 30දා හා ජුලි 2දා පැවැත්වෙන තරග දෙක ගාල්ලේදීත් ඉතිරි එක් දින තරග තුන හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීත් (ජූලි මස 6, 8 හා 10 යන දිනවලදී) පැවැත්වීමට සැලැසුම් කර ඇත. එසේම තරගාවලිය නිමා කරමින් දෙරට අතර එකම ටෙස්ට් තරගය ජූලි මස 14 දා සිට 18දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් වරට එක් දින තරගයක් පවත්වා ඇත්තේ 2000 වසරේ ජූලි මස 6දා වන අතර ශ්‍රී ලංකාව - පාකිස්තානය දකුණු අප්‍රිකාව යන රටවල සහභාගීත්වයෙන් තුන්කොන් තරගාවලියකට අදාළව පැවැති එම තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 37කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. තවද මේ වන තෙක් ගාල්ලේදී පවත්වා ඇත්තේ එක් දින ජාත්‍යන්තර තරග 7ක් පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්