දයාසිරි ක්‍රිකට් පතුරු ගහයි

  👤  2864 readers have read this article !
By mawbima 2017-06-19

සිරිනාම රාජපක්‍ෂ

ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මඟින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600කට අධික පිරිසක් වෙත සහතික පත්‍ර ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඇදවැටීමට පළමු වැනි හේතුව පුහුණුකරුවන්ගේ ඇති ආත්මාර්තකාමීත්වය බවයි. ක්‍රීඩා ක්‍ෂේත්‍රයට නිසියාකාර දැනුමක් හා පුහුණුවක් ලැබූ උපදේශකයන් හා පුහුණුකරුවන් බිහි කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසුව කළ ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් මෙම පාඨමාලා පැවැත්වුණු අතර ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන්ද ඒ අතර විය. තවද ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා අභ්‍යාස හා පුහුණුවීම් ක්‍රමවේදයන් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මඟින් ක්‍රීඩකයන් ආබාධ තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකාව තුළ වැඩියෙන් දක්නට ලැබෙන බවයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගේ ශරීරයේ ස්වභාවය දුටු විට එතරම් කැත ක්‍රීඩකයන් ක්‍රීඩා කරන වෙනත් රටක් තමන් දැක නැති බවත් මොවුන් මෙරට හමුදා කඳවුරකට යවා මාස 6ක්වත් පුහුණුවීමක් ලබා දිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා එම උත්සවයේදී කියා සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ කතාවේ උපුටා ගැනීම මෙසේ සටහන් කරමි.
ක්‍රීඩා අභ්‍යාස සහ පුහුණුවීම් ක්‍රමවේද දවස ගාණේ වෙනස් වෙනවා. නමුත් ලංකාවේ පෙනෙන්නේ එය පහළට වැටී ඇති තත්ත්වයක්. ලංකාවේ ඉහළම මට්ටමේ පුහුණුකරුවන් සිටින්නේ තුන් හතර දෙනයි. ඒ අය හැර වෙනත් කාටත් මෙතැනට එන්න හම්බවෙන්නේ නෑ. එන්න දෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. දැන් අපි හිතන්න ඕන මේ තුන් හතර දෙනාගෙන් ලංකාවට අවශ්‍ය පුහුණු කිරීම් සිදුකර ගන්නවාද නැතිනම් විවිධ ක්‍ෂේත්‍රවලින් තවත් පුහුණුකරුවන් ඇති කර ගන්නවාද කියන එක. එහෙම නැත්නම් තුන් හතර දෙනකුගේ ඒකාධිකාරයට යටවෙලා ඉන්නවාද නැත්නම් තමුන්නාන්සේලා අතරින් තවත් පුහුණුකරුවන් හදාගන්නවාද කියන දෙකින් එකක් අපිට තෝරගන්න වෙනවා.

ලංකාවේ ක්‍රීඩාව ඇදවැටීමට පළමුවැනි හේතුව තමයි පුහුණුකරුවන්ගේ ඇති ආත්මාර්ථකාමීත්වය. දෙක පුහුණුකරුවන් ලෙස විශාල පිරිසකට මෙම ක්‍ෂේත්‍රයට ඒමට තිබෙන ඉඩ අහුරා තිබීම. තුන පුහුණුකරුවන් ලෙස ලැබිය යුතු පුහුණුව හා අධ්‍යාපනය නොමැතිව ක්‍රීඩකයන්ව පුහුණු කිරීම. මේ නිසා තමයි අද විශාල අර්බුදයක් රට තුළ ඇති වී තිබෙන්නේ. ක්‍රීඩාවේ සිටි කෙනෙක් ලෙස මම දන්නවා තාමත් අපි භාවිත කරන්නේ 1960 ගණන්වල භාවිත කළ ක්‍රමවේදමයි. බඩට කරවන ව්‍යායාම තාමත් 1975, 80 කාලේ කරපුවා. ව්‍යායාමවල ලෝකයේ සිදුව තිබෙන වෙනස්කම් තවමත් අපි දන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් අවුරුදු 13, 14, 15න් පහළ යනතුරු අපි ශක්ති අභ්‍යාස කරන්නේ නැහැ. කරන්නේ අතපය හොල්ලලා කොන්ද නමලා ව්‍යායාම ටිකක් කරන එක විතරයි. අවුරුදු 19න් පහළ විතර තමයි ශක්ති වර්ධන ක්‍රමවේදයන්ට යොමුවෙන්නේ. ක්‍රිකට්වල නම් ජාතික කණ්ඩායමට පැමිණි පසුයි ශක්ති වර්ධන ව්‍යායාම කරන්න මහන්සි වෙන්නේ. නමුත් එතකොට සම්පූර්ණ ශරීරය වෙනත් පැත්තකට හැරිලා ඉවරයි. ලංකා කණ්ඩායමට ඇවිල්ලා දිගටම ඒ අභ්‍යාස කරන විට සිදුවන්නේ 50 ගහන කොට කකුල් අල්ලගෙන ඉඳගන්න සිද්ධ වෙන එක. 25ක් ගහන කොට දුවාගන්න බෑ. මෙච්චර කල් ක්‍රිකට්වල තිබුණා ක්‍රීඩකයකුගේ කකුලේ ආබාධයක් ඇති වුණාම ඒ වෙනුවට දුවන්න කෙනෙක් ගන්න පුළුවන්කම. දැන් ඒකත් නතර කරලා තිබෙන්නේ. ඒක හොඳයි මොකද 50 ගහනකල් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕන. එහෙම ෆිට්නස් නැත්නම් ක්‍රීඩා කරලා වැඩක් නැහැ. ජාතික කණ්ඩායමට ආවට පස්සේ ඉන්න පිටරට පුහුණුකරුවෝ කියනවා අපෝ මෙයාව දුවවන්න එපා. මෙයා අපිට ඉන්න හොඳ ප්ලේයර් කෙනෙක් කියලා. මෙයාගේ මාංස පේශියක් ගියොත් සෙල්ලම් කරන්න බැරිවෙනවා කියනවා. ඉතිං ක්‍රීඩා කරන විට පේනවා ටීෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා.

ලංකාවේ ජාතික කණ්ඩායමේ තරම් කැත මිනිස්සු ටිකක් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙන රටක් නෑ. කිහිප දෙනයි එහෙම නැතිව ෆිට්නස් හොඳට ඉන්නේ. මේවා කිව්වාට පස්සේ මට කට්ටිය බනින්න පුළුවන්. කෙනෙක් කියලා තිබුණේ කැච් එක අත හැරුණා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අතහැරුණු නිසා තමයි මැච් පැරදුණේ. කැච් එක ගන්න ළඟට යනකොට බඩ වැඩි නම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්සේ කැච් එක අතහැරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ. අද බලන්න බංග්ලාදේශ කණ්ඩායම. එක ක්‍රීඩකයෙක්ගේවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන් ඉතාමත් නිවැරැදි ආකාරයට පුහුණු කිරීම් සිදුකරන නිසා. නමුත් අපේ කණ්ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ. මේ අයව හමුදා කඳවුරකට යවලා මාස 6ක් විතර පුහුණු කිරීම් කරවන්න ඕනෑ. නැතිනම් මේක හරියන වැඩක් නෙවෙයි. 50 ගහන කොට කකුල අල්ලගෙන බිම ඉඳගන්නවා. මම දැක්කා වතාවක් භෞතචිකිත්සක ඕවරයට 4 පාරක් විතර ඇවිල්ලා කකුල අතගාලා යනවා. කුඩා කාලයේදීම ශක්ති වර්ධන ව්‍යායාම හම්බවෙලා නැති නිසා ආබාධ පොඩි කාලේ ඉඳන්ම ඇතිවෙලයි තිබෙන්නේ.

ලංකාවේ හොඳ පුහුණුකරුවෝ පිරිසක් හදාගන්න පුළුවන් නම් ලංකාවේ හොඳ ක්‍රීඩකයෝ ටිකක් හදාගන්න පුළුවන්. ලංකාවේ ක්‍රීඩකයෝ නැත්තේ ලංකාවේ හොඳ පුහුණුකරුවෝ නැති නිසා. අපි මේ වෙනකොට ලංකාවේ පාසල් 6440කින් දරුවෝ තෝරලා පාසල් 316ක් තුළ ඔවුන්ව පුහුණු කිරීමේ මුලික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. 2028 දක්වා මේ පුහුණුවීම් සිදුවෙනවා. මම එනවිට පාසල් මට්ටමේ පුහුණුකරුවන් විශාල පිරිසක් සිටියෙ අවුරුදු ගණනාවකින් කිසිම පුහුණුවක් නොලබපු අයයි. මම සජිත් ජයලාල් මහත්මයාට කිව්වා පළාතෙන් පළාතට ගොස් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කරලා මේ අයට අලුත් පුහුණු කිරීමේ ක්‍රමවේද කියා දීලා පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් පටන් ගන්න කියලා. එතකොට අපිට මෙතැනින් ඉස්සරහට යන්න පුළුවන්.

ඒ වගේම තමුන්නාන්සේලා අතරින් ඉතා විශාල පිරිසක් අපේ අමාත්‍යාංශයට බඳවා ගන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයකටම ක්‍රීඩා 23ක් යටතේ පුහුණුකරුවන් 23 දෙනකු බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන් අතරින් ඔලිම්පික්, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය මට්ටමට ගෙන යා හැකි ක්‍රීඩකයන්ව තනන පුහුණුකරුවන්ව මම බලාපොරොත්තු වෙනවා විවිධ රටවලට යවා තවදුරටත් පුහුණු කරන්න. මට ඉන් අවශ්‍ය කරන්නේ තුන්වැනි හතරවැනි මට්ටම්වල සිර වී සිටින පුහුණුකරුවන්ව එතැනින් පස්වන හයවැනි මට්ටම්වලට ගෙන එන්න. මේ වන විට මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පස්වැනි මට්ටමේ පුහුණුකරුවන් තුන් හතර දෙනයි සිටින්නේ. ඒ නිසා තමුන්නාන්සේලා අතරින් වැඩි පිරිසක් එතැනට යා යුතුයි. මෙය මෙතැනින් නතර වෙන දෙයක් නොවෙයි. අද චන්දික හතුරුසිංහට පුළුවන් වී තිබෙනවා බංග්ලාදේශයට ගිහින් බංග්ලාදේශ කණ්ඩායම ලොව හොඳ කණ්ඩායමක් මට්ටමට ගෙන ඒමට. ඒ වගේම මතක තියාගන්න. තමන් ඔලිම්පික් ගියා, වර්ල්ඩ් කප් දිනුවා, එහෙමත් නැත්නම් ලෝකේ තිබෙන හොඳම කණ්ඩායමේ ක්‍රීඩා කළා කියලා නැත්නම් විකට් හාරසියයක් අටසීයක් ගත්තා කියලා හොඳ පුහුණුකරුවෙක් වෙන්න බැහැ. පුහුණුකරුවෙක් වෙන්න නම් ඔහු පුහුණුකරුවකු වීමට පුහුණු විය යුතුයි. චමින්ද වාස් කියන්නේ විකට් හාරසියයක් ගත්තු ලෝකයේ ඉන්න හොඳම වේග පන්දු යවන්නෙක් ලෙස නම් දරපු ක්‍රීඩකයෙක්. මම ඔහුට කිව්වා පුහුණුකරුවකු ලෙස පුහුණුවන්න කියලා. අද චමින්ද වාස් ඉතාම දක්‍ෂ පුහුණුකරුවකු හැටියට විවිධ රටවල වැඩ කරන්නේ ඒ පුහුණුව ලබාගත් නිසයි. ඒ නිසා හිතන්න එපා තමන් ලොකු මෙඩ්ල් එකක් ගත්තා කියලා, තමන්ට අනිත් අයව පුහුණු කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බැහැ. එහෙම පදක්කම් නොගත් අය අද හොඳ පුහුණුකරුවන් වී තිබෙනවා. ඩෙව් වට්මෝර් ටෙස්ට් තරග 50ක්වත් ක්‍රීඩා කර නැහැ. නමුත් අද ඔහු ලොව සිටින දක්‍ෂ පුහුණුකරුවෙක්. ඒ වගේම අපි විදෙස් පුහුණුකරුවන් මෙරටට ගෙන ඒමටත් කටයුතු කරනවා. පසුගිය වකවානුවේ මෙරට කෙටි දුර සහ මැදි දුර ධාවන තරගකරුවන් කෙන්යාවට ගොස් පුහුණුවීම් ලැබුවා. ඉන් පසු කෙන්යාවේ පුහුණුකරු මෙරටට පැමිණ පුහුණුවීම් ලබාදුන්නා. ඒ පුහුණුකරු මා සමඟ පැවැසූ දෙයක් තමයි ලංකාවේ ඉතාම හොඳ පුහුණුකරුවන් සිටින බව. මලල ක්‍රීඩා වගේම අනෙකුත් ක්‍රීඩාවලත් ලොව සිටින දක්‍ෂ පුහුණුකරුවන් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ලබාදෙන පුහුණුව තුළින් අපේ පුහුණුකරුවන්වත් වඩා ඉහළ තලයකට රැගෙන යන්න අපි උත්සාහ කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්