කුවේට් ගිය දියණිය ගෙල වැලලාගෙන දිවි නසාගත් කථාව පිළිගන්න බෑ හැඬූ­ කඳුළින් පියා පවසයි

  👤  2809 readers have read this article !
By mawbima 2017-06-19

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්

නියමිත සේවා කාලය අවසන් වීමෙන් පසු ආපසු දිවයිනට එන්න නොදී හාම්පුතුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගත් තම දියණිය දැන් ගෙල වැලලාගෙන සිය දිවි නසාගත් බව පැවැසීම තමන් නොපිළිගන්නා අතර මේ මරණය හාම්පුතුන් විසින් සිදු කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් සේ තමන් සිතන නිසා වහාම මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස තම පවුලේ අය ඉල්ලා සිටින බව මුඟුණුවටවන කංජික්කුලිය වටවන ප්‍රදේශයේ පදිංචි පස් දරු පියකු වන වරුෂවිතානගේ කුවින්ටස් ඇන්ටනි ප්‍රනාන්දු (67) මහතා හැඬූ කඳුළින් යුතුව පවසයි.
හෙතෙම සඳහන් කෙළේ කුවේට් දේශයේ රැකියාවකට ගොස් සිටිය දී එහිදී සිය දිවි නසා ගත් බව විදේශ රැකියා කාර්යාංශය විසින් තමන් වෙත දන්වන ලද දැනුම් දීම අනුවයි.

මේ මරණය සැකසහිත සිද්ධියක් බවට තමන් විශ්වාස කරන බැවින් තම බිරිය වන කුරුකුලසූරිය සුමනාවතී මේ සම්බන්ධයෙන් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඔහු කීය.

ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව කියා ඇත්තේ මුඟුණුවටවන කංජික්කුලිය වටවන විසූ වරුෂවිතානගේ ශිරංගනී සිරියාවතී ප්‍රනාන්දු (29) නමැති දෙදරු මවයි. ඇය විදේශ රැකියාවක් සඳහා කුවේට් දේශය බලා ගොස් ඇත්තේ 2015 වසරේදීය.

වරුෂවිතානගේ කුවින්ටස් ඇන්ටනි ප්‍රනාන්දු (67) මහතා සිය දියණියගේ අකල් මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද කීවේය.
මගේ බිරිය කුරුකුලසූරිය සුමනාවතී (60) යි. අපි දෙදෙනාට දරුවන් පස් දෙනකු ඉන්නවා. දෙවැනි දරුවා මේ දුවයි. ඇය අවුරුදු 15දී හිතුවක්කාර විවාහයක් කර ගත්තා කුමාරකට්ටුව එල්විටියේ අයකු සමඟ. පස්සේ එයාලා කංජික්කුලිය සමඟි වත්තේ පදිංචි වුණා. දුවට රමේශ් තිසේරා (13) හා හංසි මධුශානි (9) නමින් දුවයි, පුතයි ඉන්නවා. මේ දරුවන් පාසල් යනවා.

දුවගේ මනුස්සයා හොඳ නැති නිසා පස්සේ දෙදෙනා වෙන්වුණා. දුව මගේ බිරිය සමඟ කංජික්කුලිය වත්තේ හිටියා. මම අනෙක් දරුවන් සමඟ වටවන පදිංචි වූවා. මම ගහකින් වැටිලා කකුලක් කැඩී වැඩක් පළක් කර ගන්න බැරිවයි ඉන්නේ.මේ කතාව අපි විශ්වාස කරන්නේ කොහොමද. අපි නම් විශ්වාස කරන්නේ නැහැ. අපේ පැමිණිල්ල අනුව නිසි පරීක්ෂණයක් කළා නම් දුවව ගෙන එන්න තිබුණා. අනේ දැන් මේ අසරණ දරුවෝ දෙන්නට මොනවද වෙන්නේ. තාත්තත් නැහැ. දැන් අම්මත් නැහැ. අපි කියන්නේ පරීක්ෂණයක් කරන්න කියලයි. මගේ බිරිය පසුගිය 16දා කොළඹ ගියා මේ ගැන පැමිණිලි කරන්න යැයි ද කීය.

මේ මරණය සම්බන්ධයෙන් විමසූ විට විදේශ රැකියා අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නලින් රාජපක්ෂ මහතා කියා සිටියේ මරණය සිය දිවි නසා ගැනීමක් කියලයි අපට දන්වා ඇත්තේ. මේ කාන්තාව බලෙන් තියා ගෙන ඉන්නා බවට පැමිණිල්ලක් අපිට ලැබී නැහැ. සැක නම් විදේශ අමාත්‍යාංශයටත් පැමිණිලි කළ හැකියි. අපි ඔවුන්ගේ ඉල්ලීම අනුව පරීක්ෂණයක් තියනවා යැයිද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්