කොරියානු සමාගමක් ධීවර කටයුතුවල යෙදවීමට ඇමැති ගත් තීරණය ලංකාවට ලොකු හානියක්

  👤  2829 readers have read this article !
By mawbima 2017-06-19

ආරියරත්න ගනේගොඩ

පසුගියදා ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කොරියානු සමාගමකට ශ්‍රී ලංකා නැඟෙනහිර මුහුදු තීරයේ ධීවර කටයුතුවල යෙදීම සඳහා අවසර ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ ජීවිකාවකට බලපෑමක් ඇති කරන බැවින් ඒ පිළිබඳ සොයාබලා පියවරක් ගන්නා ලෙස ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

බත්තරමුල්ල සීලරතන හිමියන්ගේ අස්සනින් යවා ඇති ලිපියේ මෙසේද සඳහන්ය.
කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉකුත් මැයි මස 30දා අස්සන් කරන ලද කැබිනට් පත්‍රිකාවෙහි සඳහන්ව ඇති කරුණු වන්නේ කොරියා සමාගම විසින් ලංකා ධීවර සංස්ථාවට කොරියාවෙන් පරිහරණය කරන ලද ධීවර යාත්‍රා 50ක් ලබාදෙන අතර එය නැඟෙනහිර ධීවර ප්‍රජාවට ලබාදීමට කටයුතු කරමින් එමඟින් අල්ලාගනු ලබන මසුන් කොරියානු සමාගම විසින් ලබාගැනීමට කටයුතු කිරීමයි.

ඇමැතිවරයා විසින් ඔහුගේ කැබිනට් බලතල අයුතු ලෙස භාවිත කරමින් නිලධාරීන්ට බැන වැදී ධීවර අමාත්‍යාංශයේ, ධීවර දෙපාර්තමේන්තුවේ හා ලංකා ධීවර සංස්ථාවේ නීති රෙගුලාසි උල්ලංඝනය කර විශාල ධීවර යාත්‍රා පහකට ගොඩබිමේ සිට ලංකා මුහුදු සීමාවට අයත් සියලුම මුහුදු ප්‍රදේශයන්හි මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාගැනීමට කටයුතු කරමින් පවතින බවද එම ලිපියේ දැක්වේ.

ඉතා භයානක ඛේදවාචකය වන්නේ කොරියා සමාගමට එම මසුන් ලංකාවේ අලෙවි කිරීමට අවසර ලබාගැනීම බවද සීලරතන හිමියෝ සඳහන් කර තිබිණි.
මේ ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ධීවර ප්‍රජාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලුව සහ ලංකා රජයට සිදුවන පාඩුව වැළැක්වීමට කටයුතු කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්