සාකච්ඡාවට විමල් තාම ආවේ නැහැ

  👤  2800 readers have read this article !
By mawbima 2017-06-19

රජයේ වියදමින් මෙරටට ගෙන්වා සවි කිරීමට නොහැකිව තිබූ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය පිළිබඳව විවේචනය කළ විමල් වීරවංශට තමා හා සාකච්ඡාවකට පැමිණෙන්න යැයි ආරාධනා කළ ද ඔහු තවමත් ඒ සඳහා ප්‍රතිචාර නොදක්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වූ හේතු කාරණා පැහැදිලි කළ ඇමැතිවරයා එහිදී මෙසේ ද පැවැසීය.

එම යන්ත්‍රය දෙනියාය ගොන්ගල කන්දේ ස්ථාපිත කිරීමටයි හිටියේ. එම යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා එය එම කන්ද වෙත රැගෙන යා යුතුව තිබූ අතර එය රැගෙන යෑමට පාර හදා ගැනීමට කාලාන්තරයක් ගත වුණා. මේ හේතුවෙන් එම යන්ත්‍රය මල බැඳීම නිසා අක්‍රිය වුණා.

යන්ත්‍රයක් තිබූ පමණින් ව්‍යසනයක් නවත්වන්න බෑ. එහෙත් ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිදු වූ ආපදා අවම කරගන්න තිබුණා. මේ වන විට එය නොමිලේ අලුත්වැඩියාව සඳහා ලෝක කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට යවා තිබෙනවා. ඉදිරියේදී මීට වඩා තාක්‍ෂණය අතින් ඉහළ යන්ත්‍ර දෙකක් ජයිකා ආයතනයෙන් අපට ලැබෙනවා.

ඒ වගේම මේ ආන්දෝලනයට තුඩු දුන් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයේ මිල රුපියල් කෝටි දෙසීයක් යැයි ඇතැම් දේශපාලනඥයන් පවා වැරැදි අදහස් ප්‍රකාශ කර සිටියා. නමුත් එහි සැබෑ මිල රුපියල් කෝටි 20ක් පමණයි.

පක්‍ෂයක් විදිහට ගත්තහම අපි මැතිවරණයකට සූදානම්. ළඟදීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමිනුයි පවතින්නේ. පක්‍ෂයේ අපේක්‍ෂයන් මේ වන විට නම් කර අවසන්. සියලු සංවිධායකයන් ගෙන්වා මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා සිදු කරලයි තියෙන්නේ.
තරුණ සමිති, ශාඛා සමිති සහ කාන්තා සමිති සංවිධාන කටයුතු සිදුවෙමින් පවතින්නේ. මේ වන විට පක්‍ෂයේ විනය මණ්ඩලය වඩා ශක්තිමත් කරලා විනය පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරමින් පවතින්නේ.

වර්ෂ 2020දී ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හදන්න ඕන අය ඉන්නව නම් අපිට එකතු වෙන්න පුළුවන්. නැතිනම් ජී.එල්. එක්ක එකතු වෙලා ජී.එල්.ගේ පක්‍ෂයත් එක්ක යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න පාර කපලා දෙන්න පුළුවන්. කවුරු ආවත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් නම් අපි ඔවුන් භාර ගන්න සූදානම්.
ඒ වගේම කියන්න සතුටුයි මගේ අමාත්‍යාංශය යටතේ ලොකු ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ මත්ස්‍ය අපනයනය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙලා. මීට බලපා ඇත්තේ ජී.එස්.පී. සහනයත් සමඟ යුරෝපා මත්ස්‍ය වෙළෙඳපොළ අපේ රටට විවෘත වීමයි.

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්