රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරන සාගල හා විජේදාස ඇමැතිවරු ගැන ජනපති තීරණයක් ගත යුතුයි

  👤  2833 readers have read this article !
By mawbima 2017-06-19

නීතිය හා සාමය භාර අමාත්‍යවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ආණ්ඩුවට සුදුසුද යන්න ජනාධිපති තීරණය කළ යුතු බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

නීතිය සහ සාමය භාර අමාත්‍යවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ප්‍රශ්න සහගත බවත් ඔවුන් රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ උත්සාහයක යෙදෙන බවත් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය වහාම යොමු විය යුතු බවත් හෙතෙම පැවැසුවේය.
ඔහු මෙසේ පැවැසුවේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා.

"ගෝඨාභය රාජපක්ෂ එෆ්. සී. අයි. ඩී. එකට ඇවිත් යන වෙලාවෙදී ඔහු මාධ්‍ය හමුවේ කාරණා කිහිපයක් ප්‍රකාශ කළා. එතැනදී ඔහු මතු කරපු කාරණාව තමයි මේක ඩයස්පෝරාවේ වැඩක්. මේක ජිනීවාවල වැඩක්, මේ වීරයන්ට එරෙහිව ගෙනියන කුමන්ත්‍රණයක් කියලා තමයි ඔහු මතු කරපු අදහස වුණේ.
ගෝඨාභය රාජපක්ෂ කාලේදි සිද්ධ වුණු ඝාතනයන්, පැහැරගැනීම්, පහරදීම් සහ මහා දැවැන්ත මුදල් මංකොල්ලයන් මේ කිසිවක් යුද්ධය හා සම්බන්ධ කාරණා නෙවෙයි. ඔහුව කැඳවලා තිබුණේ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.

ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ වගේ මාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන ප්‍රශ්න කරන්න එෆ්. සී. අයි. ඩී. එකට, රහස් පොලිසියට කැඳෙව්වහම ඒක ඩයස් පෝරාවේ ඉල්ලීමක් නෙවෙයි. ඒක මේ රටේ ත්‍රස්තවාදයට සම්බන්ධ නැති, මේ රටේ සිවිල් පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට, තමන්ගේ ජලය ආරක්ෂා කර ගැනීමට පාරට බැහැපු රතුපස්වල ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ වැරැදිකරුවන් සෙවීමට අදාළ ක්‍රියාදාමයන් ඩයස්පෝරාවේ වැඩ නෙවෙයි. ගෝඨාභය, මහින්ද ඇතුළු පාර්ශ්වය හැමදාම තමන්ගේ පරාජය ගැන හිතන්නෙ ඩයස්පෝරාවේ වැඩ කියලා. ඒක එහෙම නැහැ. ඒක කළේ මේ රටේ මහජනතාව. මේ රටේ ලක්ෂ 62ක් ජනතාව ඔහුව පරාජයට පත් කරලා ඉල්ලුවෙ සාධාරණත්වය. අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් පහරදීම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉල්ලුවේ යුක්තිය. ඒ යුක්තිය ඉටු කරන්න හදන හැම අවස්ථාවකම මහින්ද සහ ගෝඨාභය ජාතියයි, ආගමයි, රණබිමයි ඉස්සරහට දානව. ගෝඨාභය රාජපක්ෂගේ බෞද්ධකම මොකක්ද කියලා අපි හොඳට දන්නවා. ගෝඨාභය රාජපක්ෂ පානම ඉඩම් ටික අල්ල ගන්න පානම පන්සල කඩලා දාලා ඒ පන්සලේ තිබුණු බෝධියට ගිනි තිබ්බා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂගේ තිබුණු බෞද්ධකම. ඒ ප්‍රදේශයේ මිනිසුන්ව පන්නලා දාලා තමයි ඔහු ඒ ඉඩම් අල්ල ගත්තේ. ඒ මිනිසුන්ට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. අපි රජයෙන් ඉල්ලනවා ඒ ජනතාවගේ යුක්තිය ඉටු කිරීමේ කාර්යය වඩ වඩාත් සාර්ථකව ඉටු කරන්න කියලා.

පසුගිය දවසක අපි දැක්කා නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් කරනවා "කෝ මාධ්‍ය නිදහස කියලා." මාධ්‍ය වෙනුවෙන් කතා කරන සිවිල් සංවිධාන කොහේද කියලා ඔහු ඇහුවා. අද අපිට සතුටුයි නාමල් රාජපක්ෂට ඒ මාධ්‍ය නිදහස ගැන කතා කරන්න පුළුවන් වීම ගැන. නාමල්ට පුළුවන් වුණාද තමන්ගේ අප්පොච්චිගෙ කාලෙ බාප්පොච්චි, ලසන්ත වික්‍රමතුංගට කතා කරපු විදිය. ලසන්ත වික්‍රමතුංගගේ බිරියට කතා කරපු විදිය. එතකොට නාමල්ට පුළුවන් වුණාද තමන්ගෙ බාප්පොච්චිට කතා කරලා කියන්න මාධ්‍යවේදීන්ට ඔහොම කතා කරන්න එපා කියලා. කාටද එදා පුළුවන් වුණේ ඒවා වැරැදියි කියන්න. කවුරුන් හෝ මාධ්‍ය නිදහස උල්ලංඝනය කරනවා නම් අපි දිගින් දිගටම ඒ දේවල් විවේචනය කළා.

පසුගිය ආණ්ඩුව විතරක් විවේචනය කරලා මේ ආණ්ඩුව කරන දේවල්වලට නිහඬව අපි ඉන්නෙ නැහැ. අපි නිවට නියාලු විදියට කටයුතු කරපු සංවිධාන නෙවෙයි. ඉදිරියේදී අපි පුරවැසි සංවිධාන විදියට මාධ්‍ය වෙනුවෙන් පෙනී ඉන්නවා.

ඒ වගේම තමයි අපි එදා ඉඳලාම කිව්වා බොදුබල සේනාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කෙමනක් කියලා. මහින්දගේ පාලන තන්ත්‍රයේ ගෝඨාභයගේ කෙමනක් විදියට තමයි බොදුබල සේනාව ක්‍රියා කළේ. ඔවුන්ට එදා රාජ්‍ය අනුග්‍රහය තිබුණා. අපිට දැන් තියෙන ගැටලුව තමයි බොදුබල සේනාවේ ප්‍රධානියාට කොහොමද හැංගිලා ඉන්න පුළුවන් වුණේ කියලා. මේ වෙනකොට මුස්ලිම් දේවස්ථානවලට, කඩවලට, ගෙවල්වලට පහර දෙනවා. එවැනි තත්ත්වයක් තවම තියෙනවා. එවැනි තත්ත්වයකට සෘජුවම පෙනී සිටින ඥානසාර හිමියන්ට වරෙන්තු දෙකක් තිබියදීත් ඔහුව තවම උසාවියට ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනවා. අපි අහනවා මේක වෙන්නෙ කොහොමද කියලා. අපිට දැන් පිළිගන්න බැහැ ගෝඨාභය සහ මහින්ද දැන් මේක පිටුපස්සෙ ඉන්නවා කියලා. දැන් මේකට වගකියන්න ඕනෑ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ ප්‍රධානියෙක් හෝ දෙදෙනෙක් මේ කල්ලිය පිටිපස්සෙ ඉන්නවා. ඔවුන්ට අනුග්‍රහය දක්වනවා. මේක පිටුපස පසුගිය ආණ්ඩුව ඉන්නවා කියලා මේ ආණ්ඩුව කියන්න හදනව නම් ඒක සම්පූර්ණ අසත්‍යයක් මේකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වගකිව යුතුයි.

තමන්ගේ ස්වාමියාට අවශ්‍ය විදියට මේ රටේ පොලිස්පති කටයුතු කරන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි අධිකරණ ඇමැති එදා ප්‍රසිද්ධියේ කිව්වා ඔහු ඉන්නකම් ගෝඨාභය රාජපක්ෂව අධිකරණයට ගේන්න දෙන්නේ නෑ කියලා. වහාම මේ රජය රාජපක්ෂවරු ආරක්ෂා කරන ඇමැතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි.

ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන්ගේ විෂයයන් බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වුණා. අපිට හරි කනගාටුයි. දුකයි. රාජිත සේනාරත්නටත් කියන්න දෙයක් නැහැ. අපි ඉස්සර මහින්දගෙ කාලෙත් දැක්කා කැබිනට් ප්‍රකාශකවරු ප්‍රශ්න ඇහුවාම විහිළු කරලා නැඟිටලා යනවා. ඒ ඒ පුද්ගලයන්ට ඕනෑ විදියට ඒ ඒ විෂයයන් බෙදා දීලා තියෙනවා නම් රටට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.
මෙහිදී අදහස් දැක්වූ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර,

රාජපක්ෂ රෙජිමය මේ රටේ මහජන දේපළ, මහජන සම්පත් කුණු කොල්ලයට විකුණමින් ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා මහජන දේපළ භුක්ති විඳින යුගයක තමයි මේ රටේ සමස්ත වැඩකරන පන්තිය, මේ රටේ පුරවැසි සංවිධාන එකතුවෙලා යහපාලන ආණ්ඩුවක් ගොඩනැඟුවේ.

ඒ යහපාලන ආණ්ඩුව තුළින් අපි හිතුවේ නැහැ පසුගිය ආණ්ඩුව කරපු ඒ කාරණා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි කියලා. රටේ අගනුවර විදියට කොළඹ සතර අතින් ඉදිවෙන හෝටල් සහ අනෙකුත් විදේශ බහු ජාතික සමාගම්වල ගොඩනැඟිලි සකස් කරන්න මේ රටේ මහජන සම්පත් තමයි ඔවුන් කුණු කොල්ලයට විකුණුවේ. අද තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ රටේ සම්පත් විකිණීම තුළින් බරපතළ හානියකට ලක් වෙලා තියෙන ආයතනයක්. තැපැල් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, මේ ආයතන දෙකම සෘජුවම බරපතළ ප්‍රශ්නයකට මැදි වෙලා තියෙනවා.

මේ ප්‍රශ්න සඳහා ඉදිරියේදී විසඳුමක් නොලැබුණොත් විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලට නිශ්චිත විසඳුම් නොලැබුණොත් එළැඹෙන 26 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කරන්න සූදානම් වෙනවා. ඒ වැඩ වර්ජනය අප සිදුකරනවා.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්