රනිල්ට බැහැ කිව්ව මංගලගේ කටට මසුරන් දාන්න වටිනවා

  👤  2870 readers have read this article !
By mawbima 2017-06-19

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට, රටේ ආණ්ඩුව කෙසේ වෙතත් සියඹලාණ්ඩුවවත් පාලනය කිරීමට නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

අතීතයේ මංගල සමරවීර "රනිල්ට බැහැ" යනුවෙන් කළ ප්‍රකාශය මේ වන විටත් ඔප්පු වී තිබෙන බවත්, වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හමුවේ ඩෙංගු උවදුරින් රෝගීන් මියයෑමට ඉඩ හැර ආණ්ඩුව නිකරුණේ බලාගෙන සිටින බවත්, ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳව පාරම්බාන අගමැතිවරයාට මෙරට සෞඛ්‍ය සේවය නැංවීමට නිසි වැඩපිළිවෙළක් නැති බවත් හෙතෙම පැවැසුවේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (18දා) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

"දැන් රට භයානක තත්ත්වයකට පත් වෙලා ඉවරයි. සුරංගනා කතා බොහෝමයක් කියලා බලයට ආපු මේ ආණ්ඩුව ගතවුණු ඉතිහාසය ඇතුළෙ කොළ පාට, නිල් පාට, රතු පාට නොයෙකුත් පාටවලට හිමිකම් කියන දේශපාලන කල්ලි. කණ්ඩායම්වල උදවු උපකාරයෙන්, මතවාදී අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාකාරී සහයෝගයෙන් බලයට ආපු මේ ආණ්ඩුව ඒ සුරංගනා කතා සියල්ල විනාශ කරලා දාලා මේ ගතවුණු අවුරුදු දෙකක කාලය තුළ මේ රට ඉතා බරපතළ ව්‍යසනකාරී තත්ත්වයකට රට ඇද වට්ටදාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ව්‍යසනකාරී තත්ත්වයෙන් මේ රට ගොඩගන්න අබමල් රේණුවකවත් දෙයක් නොකරමින් තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක් වැඩ කටයුතු කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා.

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල හැම නගරයක්ම අද කුණුවලින් පිරුණු නගර බවට පත්වෙලා තියෙනවා. කුණුවලින් පිරිච්ච කුණු වුණු රටක් බවට මේ ආණ්ඩුව මේ රට පත්කරලා තියෙනවා. රටක් භාරගත්තා නම් ඒ රටේ පිරිසුදුභාවය ගැන වගකීම හරි ඉටු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෑ. පළාත් පාලන ආයතනවල කාර්යභාරය අකර්මණ්‍ය කරලා එය නිලධාරි පාලනයකට යටත් කරලා, පළාත් පාලන ආයතනවලින්් සිදු විය යුතු දේ අකර්මණ්‍ය කරලා දාලා මේ ආණ්ඩුව බකන්නිලාගෙන බලන් ඉන්නවා.

සාමසර කන්ද නාය ගිහිල්ලා එයින් ආපදාවට ලක්වුණු මිනිස්සු සිය ගණනක් අදත් ඉන්නවා. ආණ්ඩුවෙන් කිසිම සහනාධාරයක් නැතිව තාවකාලිකව හදපු ටෙන්ට් කූඩුවලට වෙලා තවමත් ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් නැහැ. ඇමැති තනතුරු ගන්නවා, තනතුරු පුදනවා, ඒවාට අතපය දිගඇරලා වියදම් කරනවා මේ ආණ්ඩුව.

ඩෙංගු රෝගය දවසින් දවස ව්‍යාප්ත වෙනවා. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීමේ ප්‍රධානතම හේතුව තමයි ඩෙංගු ව්‍යාප්තියට බලපෑවේ.
මේ ආණ්ඩුව මේ රටේ බිහිසුණු අබල දුබල අංගවිකල ආණ්ඩුවක් බවට පත් වෙලා ඉවරයි. කට මැත දෙඩවීම ඇරෙන්න මේ රටේ කිසිම ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් ආණ්ඩුව දීලා නැහැ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා තියෙනවා. මේ රටේ ලොකුම හොරකමට චූදිතයා වුණු අර්ජුන් මහේන්ද්‍රන් තවමත් නිදැල්ලේ කටයුතු කරනවා. අඩුම තරමින් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයවත් අධිකරණය භාරයට අරගෙන නැහැ.

අගමැති කියනවා අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයෙන් වරදකරුවෙක් වුණොත් විතරයි හොරෙක් වෙන්නේ කියලා. එතකොට අපි අහනවා පසුගිය කාලේ මහින්ද රාජපක්ෂට හොරා හොරා කිව්වේ මොන අධිකරණයෙන් ඔප්පු වෙලාද කියලා. මේකෙන් පේනවා මේ ආණ්ඩුවේ දෙබඩි ප්‍රතිපත්තිය මොකක්ද කියලා.

ආණ්ඩුව කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න දැන් කටයුතු කරනවා. ජිනීවා මෙහෙයුමට බාර දීලා, බෙදුම්වාදී ව්‍යවස්ථාවට බාර දීලා, දෙමළ ඩයස් පෝරාව පිනවන වැඩපිළිවෙළකට බාර දීලා, බටහිර රටවල් පිනවන වැඩපිළිවෙළකට බාර දීලා, ඉන්දියාව පිනවන වැඩවලට උපරිම බර දීලා, ආණ්ඩුව කටයුතු කරනවා.
ඒ වගේම තමයි බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ව තවමත් අත්අඩංගුවට ගන්න පොලිසියට බැරි වෙලා තියෙනවා. ලංකාවේ පොලිසියට අල්ලගන්න බැරි අපරාධකරුවෙක් නැහැ. ඔහුව අල්ලා ගන්න බැහැ කියන එක බොරුවක්. මෙතන නාටකයක් යන්නේ. අපි ඒ ගැන හො¼දාකාරවම දන්නවා.

ඒ වගේම තමයි ඉතිහාසයයේ පළමුවැනි වතාවට ලොතරැයි විකුණන මනුස්සයෙක් විදේශ ඇමැතිකමට දාපු රටක් මේක. පළමුවැනි වතාවට විදේශ ඇමැතිට ලොතරැයි විකුණන එක භාරදීපු රටක් මේක. මෙහෙම විගඩම් බලන්න තමයි 2015 දී මේ රටේ සමහර කොටස් මේ ආණ්ඩුව පත් කරන්න හවුල් වුණේ.

උදයන්ති මුණසිංහ
ඡායා: අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්