ජාතිවාදීන්ට නොව නඩු දැමිය යුත්තේ ජාතිය භේද කරන්නන්ටයි

  👤  2800 readers have read this article !
By mawbima 2017-06-19

මට මඩ ගහන එක වැඩිකරලා මෙයාලා. මඩ පහර වැඩි වන විට මම හිතන්නෙ මැතිවරණයක් තියාවි. පළාත් පාලනය හරි එකක්වත් තියාවි. එහෙම නැත්නම් ඔච්චර මඩ ගහන්න විදියක් නෑ. ඒකෙන්ම තමයි මමත් බලාගන්නෙ මේ ආණ්ඩුවේ ඔවුන්ගේ ගැස්ම කොහොමද කියලා යැයි හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ මාතර - කඹුරුපිටිය, බොරළුකැටියේ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති නාරංදෙණියේ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේට ශ්‍රී රෝහණ සංඝ සභාවේ උප ප්‍රධාන සංඝනායක ගෞරව නාමය සඳහා සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා...

අපේ නායක හාමුදුරුවන්ගේ උත්සවයට සම්බන්ධ වන්න ආරාධනා කළාම මම ඉතා සටිතුන් භාර ගත්තේ අපේ නායක හාමුදුරුවන්ට තියෙන ලෙන්ගතුකම ප්‍රකාශ කරන්න. මට මතකයි කතරගම පින්කමට මුලින්ම ආරාධනා කරන්නේ ඔබවහන්සේට. මට මතකයි එක සිද්ධියක් මම විපක්ෂ නායක වශයෙන් කිරි වෙහෙරට එදා ගිය දවසෙ එදා අපෙ නායක හාමුදුරුවො පිරිත් පැන් මට වත් කරන ගමන් ඔබ අද විපක්ෂ නායක තව ටික දවසකින් මේ රටේ නායකයා වෙනවා කියලා එදා කතරගම පුදබිමේදී ආශීර්වාද කළා. ඒක මං හිතන්නෙ අපිට අමතක නොවන සිද්ධියක්. අපි ඇත්ත වශයෙන් එක් විදියකට පින් කරලා තියෙනවා අපේ නායක හාමුරුවන්ට මේ සන්නස් පත්‍රය පූජා කරන්න.

ගැටඹේ පන්සලට අපි කටුකම්බි ගහන යුගයක් තිබුණා. ඊට පස්සේ අපි දැක්කෙ ත්‍රිකුණාමලේ බුදු පිළිමය ආරක්ෂා කරන්න අපිට කටුකම්බි ගහන්න වුණා. කටුකම්බි ගැහුවා විතරක් නෙවෙයි හමුදා සේනාංකයක් ඒ වටා තියන්න එය ආරක්ෂා කරලා තියන්න අපිට සිද්ධ වුණු යුගයක් අපිට තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. ඒ යුගය අවසන් කළත් නැවත නැවත වාරයක්් අද බුදු පිළිම, පුරා වස්තු ඒ ප්‍රදේශ තුළින් ඉවත්වීම වළක්වා ගන්නට අද මේ ආණ්ඩුව අපොහොසත් වෙලා. ආගම්වලට ගරු කරනවා නම්, බෞද්ධයා බුදු දහමට ආදරය කරනවා වගේම කතෝලික ආගමිකයා කිතු දහමට ආදරය කරනවා වගේම හින්දු භක්තිකයා හින්දු ආගමට ආදරය කරනවා. ඒ වගේම අපේ ඉස්ලාම් භක්තිකයෝ තමන්ගේ ආගමට ආදරය කරනවා ගරු කරනවා.

අපි එකිනෙකා සහජීවනයෙන් ජීවත් විය යුතුයි. නමුත් අපි යම් විදියකින් ඒ සහජීවනය වරදවා තේරුම්ගෙන කටයුතු කරන්න ගියොත් එය මම හිතන්නේ එතරම් සුබදායක නෑ. නීති පනවලා රටක අලුත් නීති ගෙනැල්ලා ජාතිවාදය වේවා කියමින් හෝ වේවා, ඊයේ මම කියනවා දැක්කා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො කියනවා ජාතිවාදීන්ට නෙවෙයි නඩු දාන්න ඕනි නීති හදන්න ඕන ජාතිය භේද කරන්න කතා කරන උදවියටයි කියලා. මම හිතන්නේ ඒ හාමුදුරුවෝ කියපු ප්‍රකාශය ඉතා වැදගත්. අප නීතිය දැන් ගේන්න හදනවා අලුතෙන්. මොකක්ද මේ. නීතිය ගේන්නෙ මොකටද. තමන්ගේ ජාතිය ගැන කතා කරන, තමන්ගෙ ආගම ගැන කතා කරන උදවියට නඩු පවරන්න. දඬුවම් දෙන්න. එහෙම පුළුවන් වෙයිද? මිනී මරන එකට හාමුදුරුවනේ දඬුවම් තියෙනවා. එල්ලුම් ගහ. හැබැයි රටේ මිනී මරනවා. අද දාහත්දාස් අටසීයක් ද (17,800) කොහෙද නඩු තියෙනවා ස්ත්‍රී හා ළමා දූෂණ. අපරාද නඩු දාලා නෑ. කිසිම නඩුවක් දාලා නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙ ෆයිල් පුරවලා තියෙනවා. ඒවා ගැන ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මම අහගෙන හිටිය විවාදයක කතාවක්. හැබැයි දේශපාලනයට සම්බන්ධ නම්, එයත් අපිට සම්බන්ධ නම්, ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්නවා නම් ඒ නඩු ටික දඩි බිඩි ගාලා එනවා. ස්ත්‍රී, ළමා අපරාධවලට නඩු නොපවරන උදවිය. මේවට නඩු පවරන්නට ඉක්මන් වෙනවා. මේව තමයි අද ප්‍රශ්න.

අද මම හිතන්නෙ වැඩියෙන්ම බැට කන පිරිස් දෙකක් තියෙනවා. ඒ තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා. ඊළඟට මේ රට බේරගත්ත රණවිරුවො. විශාල සංඛ්‍යාවක් තවමත් කූඩුවල ඉන්නවා බොරු චෝදනා යටතේ.

මේ සියල්ල සිදු වෙමින් පවතිද්දී අධ්‍යාපනය පැත්තෙන් බැලුවත් හැම අංශයකින්ම රටට ඇතිවෙලා තියෙන්නේ මහත් ව්‍යවසනයක්. අද නාය යනවා. ගං වතුරෙන් මම හිතන්නෙ ඉතිහාසයේ කවදාවත් අෑත ඉතිහාසයේ ඉඳලා අද වෙනකම් මෙතරම් කෙටි කාලයක් තුළ ව්‍යසනයන් හතක් මුහුණ දුන්න ජාතියක් නැතිව ඇති. කුණු කන්ද, අවිස්සාවේල්ලේ සාලාව පිපිරීම, ඒ පිපිරීම පිළිබඳව පරීක්ෂණයක් නෑ අදත්. සමහරු කියනවා මේ වුවමනාවෙන් පිපිරෙව්වා කියලා. මේවා පිළිබඳව විස්තර දන්නෙ නෑ අපි. කට කතා තියෙනවා. කුණු කන්ද පිළිබඳව සමහරු කියනවා මේකට රසායනික වර්ගයක් දැම්මා පිච්චෙන්න, ඒ තුළින් තමයි මේකෙ මූලික ආරම්භය කියලා. අපි දන්නෙ නෑ මේවා පිළිබඳව. ඔවුන්ට වන්දි ගෙවලා නෑ. අරණායක වන්දි ගෙවලා නෑ තාම. මම දැක්ක එක බලන්න ගිය තරුණ මන්ත්‍රි පිරිසක් නාමල්ල එක්ක.

ඒ ගිය කට්ටිය එක්ක ගිය රජයේ නිලධාරීන්ට එරෙහිව දඬුවම් කරනවා අර ගෙයක් හදලා දෙන්න මහන්සි වීමට. මේවා බලාගෙන ඇස් දෙක පියාගෙන අපිට ඉන්න පුළුවන්කමක් නෑ. අද මාධ්‍ය ගැන කතා කරනව මේව කියනකොට ඉබේ කියැවෙනවා. අද සමහර මාධ්‍යවල එක මාධ්‍යයකින්වත් මම දැක්කෙ නෑ. මාතර අපේ ඩලස් මන්ත්‍රිතුමා කතාකරන එක වචනයක් වත් එකකවත් දැම්මේ නෑ. එකකවත් නෑ. මේක තමයි අද තත්ත්වය රටේ. මාධ්‍යයට ගහනවා. බය කරනවා. තර්ජනය කරලා වහනවා. සමහර මාධ්‍ය වැඩි හරියක් ඇඩ්වටයිසින්වලින් ජීවන් වෙන්නෙ. ඒවා එක කට්ටියකට විතරක් දෙනවා. තවකට්ටියකට නෑ. අද සමහර මාධ්‍ය තියෙන්නෙ මට දිගට හරහට මඩ ගහනවා. වෙන එකක් නෑ. උදේ ඉ¼දලා හැන්දෑ වෙනකම් මඩ ගහන සංස්කෘතියක් අද ආරම්භ වෙලා තිනේනෙ. ඒක දිගින් දිගට යයි. ජනවාරි 08 වෙන්න ඉස්සෙල්ලා ඒ මාස දෙක තුන තුළ ගෙනගිය ඒ දරුණු ව්‍යාපාරය ආපහු ආරම්භ කරලා තියෙනවා.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්