සහන කටයුතුවලදී අපේ නිලධාරීන් දිවි නොතකා කටයුතු කළා

  👤  2777 readers have read this article !
By mawbima 2017-06-19

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට එම අවස්ථාවේම සහන සැලසීමට ආණ්ඩුවක් ලෙස අප ක්‍රියාකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය 16 දින මොරවක කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අගමැතිවරයා මෙසේද කීය.

ගංවතුර ආපදා තත්ත්වය මේ වන විට අවසන් වී තිබෙනවා. දැන් සිදු කිරීමට තිබෙන්නේ ආපදාවට පත් ප්‍රදේශ නැවතත් යථා තත්ත්වයට පත් කිරීමයි. ඒ පිළිබඳ කරුණු අවබෝධ කරගනිමින් සහ සාකච්ඡා කරමින් අවශ්‍ය සහන සැලසීමට අප කටයුතු කරනවා. පසුගිය අඟහරුවාදා දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යවරුන් සහ නිලධාරීන් සහභාගි වූ සාකච්ඡාවේදී මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප තීරණය කළා.

මීට පෙර අදහස් දැක්වූ ඇමැතිවරුන් දෙදෙනාම පැවසූ පරිදි සහන සැලසීමේ කටයුතුවලදී අප සාර්ථක ලෙස ක්‍රියා කළේ කෙසේදැයි විශේෂයෙන් මා පැවසිය යුතුයි. එලෙස සාර්ථක වීමට හැකි වූයේ එම අවස්ථාවේදී දක්ෂ ලෙස ක්‍රියා කළ නිලධාරීන් නිසයි. බදාදා පස්වරුව වන විට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි යැයි තොරතුරු ලැබී තිබුණා. ඊට සූදානම් වීමට බ්‍රහස්පතින්දා දිනයේ අප වැඩකටයුතු රාශියක් සිදුකළා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිසා ලේකම්වරුන්ගේ හමුවට පැමිණ සිටි නිලධාරීන් දැනුවත් කොට වහාම ඔවුන්ගේ ප්‍රදේශ කරා පිටත්කර හැරියේ ඇති වන ගංවතුර තත්ත්වයට මුහුණ දීමට උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි. එමෙන්ම පොලිසියත්, නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් ආපදා තත්ත්වයට මුහුණ දීමට සූදානමින් තැබුවා.

එදින රාත්‍රියේ වර්ෂාව දැඩි ලෙස ලැබීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ වූ අතර කොටපොළ මෙන්ම කුකුලේගඟ ඇතුළු අවට ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්ත්වයක් ඇති වුණා. 2003 වසරේ ඇති වූ විශාල ගංවතුරට සමාන ආපදාවකට මුහුණ දීමට අපට සිදුවුණා.

එම ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකි වුණේ පෙර සිටම සැලැස්මක් තිබූ නිසයි. සිකුරාදා උදෑසන සිට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආයතන යොදා ගනිමින් සහන සැලසීමේ කටයුතු මෙහෙයවීමට කටයුතු කළා. ඒ සියලු මෙහෙයුම් කටයුතු සාර්ථක වුණේ සියලුම රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් වැඩකළ නිසයි. ඔවුන් සියලු දෙනාම තම ජීවිත හෝ දේපළ පිළිබඳ නොසිතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා උපරිමයෙන් දායක වුණා. රාජ්‍ය සේවකයන් පමණක් නොව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත් මෙම කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා.

නෙළුව ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතුවලදී ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරියා ගැන විශේෂයෙන් සිහිකළ යුතුයි. ඒවගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන් ආදී සියලුම දේශපාලනඥයන්ද මෙම අවස්ථාවේදී විශාල දායකත්වයක් ලබා දුන්නා. සහන සැලසීමේ කටයුතු සාර්ථක වුණේ මේ සියලු දේ නිසයි.

විනාශයට පත්වූ සියලු ප්‍රදේශ සහ දේපළ හඳුනාගෙන ඒවා යථා තත්ත්වයට පත්කිරීම දැන් සිදු කළ යුතුව තිබෙනවා. රටේ පවතින මූල්‍ය තත්ත්වය මත මේ පිළිබඳ සාකච්ඡා කරමින් ජනතාවට අවශ්‍ය විසඳුම් ලබාදීමට අප සූදානම්. ආපදාවට පත්වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉදිකරමින් ග්‍රාමීය ආර්ථිකය නැවත නඟා සිටුවීමට උපකාර කිරීමට තමන් සූදානම් බව පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මා සමඟ පවසා සිටියා. ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමටත් අප සූදානම්. මේ ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා ආධාර ලබාදීමට විශේෂ ණය ක්‍රමයක් සහ යෝජනා කීපයක්ම අපට ලැබී තිබෙනවා.

මේ ප්‍රදේශයේ ආර්ථිකය විශාල වශයෙන් ර¼දා පවතින්නේ තේ කර්මාන්තය මතයි. දකුණේ ආර්ථිකය පිළිබඳ සලකා බලන විට සංචාරක සහ ධීවර කර්මාන්තය වෙරළබඩ ප්‍රදේශයන්හි තිබෙන අතර දකුණේ අභ්‍යන්තර ප්‍රදේශවල තිබෙන්නේ තේ කර්මාන්තයයි. ආපදාව හේතුවෙන් තේ කර්මාන්තයට සිදුවී ඇති ප්‍රධානම බලපෑම නම් මාර්ග පද්ධති හානියට පත්වී තිබීමයි.

දිවයිනේ සමස්ත ආපදාව පිළිබඳ ඇස්තමේන්තුවක් අපට තවමත් ලැබී නැහැ. බිලියන පනහත් සීයත් අතර මුදලක් ඒ සඳහා අවශ්‍ය වනු ඇති බව මහ බැංකුව පවසනවා. ඒ සඳහා මුදල් ලබාගැනීමට දැන් අපට සිදුවෙනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්