දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය රටේ අනාගතයට ආයෝජනයක්්

  👤  2840 readers have read this article !
By mawbima 2017-06-19

මහනුවර අස්ගිරියේ පිහිටි චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ 16 වැනි දින පැවැති වාර්ෂික ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

"අපේ රටේ නිදහස් අධ්‍යාපනය පසුගිය දශක හයක හතක කාලයක තුළ දරුවන්ට සහ පුරවැසියන්ට ලබාදීම තුළ අප රටේත් විදේශ රටවලත් විවිධ ක්ෂේත්‍රයන්ගේ විශිෂ්ටයන් බිහිකිරීමට හැකියාව ලැබුණා. ඒ මා සඳහන් කළේ ගෙවී ගිය දශක කිහිපයේ මෑත භාගයේ ඉතිහාසයයි. එහෙත් අපේ රටේ ඊට වඩා කීර්තිමත් බෞද්ධ අධ්‍යාපනයක් පිළිබඳව සඳහන් වන්නේ විහාරස්ථානය ගමේ පන්සල සහ පිරිවෙන මුල් කරගත් බෞද්ධ අධ්‍යාපනය තුළයි. අද තෛ්‍රභාෂා උපාධිය පිළිබඳව කතා කළත් බෞද්ධ අධ්‍යාපනය හා පිරිවෙන් අධ්‍යාපනය තුළ එදා කතා කළේ ෂඩ්භාෂා විශාරදයන් පිළිබඳවයි. පන්සල පිරිවෙන මුල් කරගත් අධ්‍යාපනය මේ රටේ යහපත් බව, හැදිච්චකම, විනය, හික්මීම, ජාතියේ මුළු ඉතිහාසය පුරා සටහන් කර තිබෙනවා. නමුත් සංවර්ධනයේ මහා ප්‍රබල විශිෂ්ටත්වයක් පෙන්වූ රටවල්වල තාක්ෂණයේ දියුණුව කොතෙක් තිබුණත් මිනිසුන්ගේ යහපත් බව, කරුණාව පරිත්‍යාගශීලී බව, මනුස්සකම බොහෝවිට අඩු බව අප දන්නවා. එහෙත් ශ්‍රී ලාංකික සමාජයේ පරිත්‍යාගය, කරුණාව, දයාව සහ මනුස්සකම වඩාත්ම ශක්තිමත් වී ඇත්තේ බෞද්ධ අධ්‍යාපනය තුළිනුයි. වසර දහස් ගණනක ඉතිහාසය පුරා කියැවෙන පිරිවෙන මුල් කරගත් අධ්‍යාපනය තුළින් ලැබූ ශික්ෂණය සහ විනය ඉතා ඉහළයි. අපේ මහා නාහිමිවරුන්ගේ අනුශාසනාවල කියැවුණු පරිදි අප යහපත් රටක් හදන්න නම් අධ්‍යාපනය මූලික කරගත යුතුයි. රටක ජාතියේ අනාගතය සඳහා කරන්නා වූ දීර්ඝ කාලීන ආයෝජනය රටේ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනයයි.

අපට අද දින පවතින අභියෝග සැලකිල්ලට ගත්විට ඒ අභියෝගයන්හි පැහැදිලිව කැපී පෙනෙන දෙයක් වන්නේ සමාජය තුළ හික්මීම, විනය, ශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයයි. අද අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට්, මාධ්‍ය යන සියල්ල තුළ අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණු කිහිපයක් තිබෙනවා. එක් පැත්තකින් ඩෙංගු උවදුර, තවත් පැත්තකින් කැළි කසළ පිළිබඳ ප්‍රශ්නය, තවත් පැත්තකින් බෞද්ධ, හින්දු, මුස්ලිම් වැනි ජාතීන් අතර තිබූ සමඟිය, එකමුතුව සහ සහෝදරත්වයට සිදුවන හානිය. මේ සියල්ල පිළිබඳව අප අධ්‍යනය කර තිබෙනවා. ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. ඒ නැඟී එන ප්‍රශ්නවලට මූලික හේතුව තමයි අපේ හැදියාව, ශිෂ්ටත්වය පිළිබඳ තිබෙන ප්‍රශ්නය. කවුරුන් කුමන ආකාරයක අයෙක් වුණත්, කුමන පාර්ශ්වයක වුණත්, කුමන පුද්ගලයෙක් වුණත්, කුමන සංවිධානය වුණත්, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය, සමාජ ජීවිතය, නිදහස් ජීවිතයට බාධා වන ආකාරයේ කටයුතු කරන කවුරුන් හෝ සිටී නම් ඔහු කුමන භාෂාවක්, ජාතියක්, ආගමක් නියෝජනය කළත් ඒ තුළ කියැවෙන්නේ සහ පෙන්නුම් කරන්නේ ඔවුන් තුළ ඇති ශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. අපට අපේ රට ගොඩ නඟන්න මූලික වශයෙන් අධ්‍යාපනය ලබාදිය යුතුයි. අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ දැනුම මුල් කරගත් හැදියාව සහ ශිෂ්ටාචාරය වර්ධනය කිරීමයි. ඒ නිසා ශිෂ්ටකම, හැදියාව සහ විනය පිළිබඳව වැදගත් ස්ථානය වන්නේ පන්සල, පිරිවෙන වැනි අධ්‍යාපන කේන්ද්‍රස්ථානයයි. මේ බෞද්ධ විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන දරුවන් ඉදිරියටත් මේ ආකාරයේ සාර්ථකත්වයට තව තවත් ළඟා විය යුතුයි.

ගොඩගම මංගල හිමියන්ගේ කතාවේදී පැහැදිලි කළා පාසල් සිසුන්ට ටැබ් පරිගණක දෙනවා කියලා කීවත් තවම ඒවා ලැබුණේ නැහැ කියලා. මම ඒ අවස්ථාවේදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කළා. මම ඇහුවා මේ ටැබ් වැඩපිළිවෙළට වෙන්නේ කුමක්ද කියලා. තවමත් කිසිදු විදුහලකට මේ ටැබ් දීලා නැහැ කියා ලේකම්වරයා කිව්වා. එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුවෙ එක් කොටසක මමත් ඉන්නවා. පසුගිය අයවැය යෝජනාවල මෙය සඳහන් වූවාට පසුව මම අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයාගෙන් විමසා සිටියා මේ ටැබ් එක දරුවන්ට දෙනවා නම් එය දෙන පදනම මොකක්ද කියලා. ටැබ් එකේ තිබිය යුතු කොටස් සහ නොතිබිය යුතු අවලංගු කළ යුතු කොටස් පිළිබඳව තීරණයක් ගෙන මෙය ලබා දිය යුතුයි. ඒ කොටස් ඉවත් කරලයි සිසුන්ට ලබාදිය යුත්තේ. ෆේස්බුක් අන්තර්ජාලා වැනි දේ නිසා අද සමාජය දරුණු පිරිහීමකට ලක්වෙලා. ඒ නිසා අන්තර්ජාලයේ දරුවන්ට වැදගත් විෂය කරුණු පමණක් ලබාගත හැකි ආකාරයට සකස් කර ටැබ් දෙනවා නම් දෙන්න නැතිනම් දෙන්න එපා කියා මම කීවා. ඒ නිසා වෙන්න ඇති මේ ටැබ් ලබාදීම පමාවෙන්නේ. මා ඒ ගැන සොයා බලනවා.

අප කතා කළ ශිෂ්ටත්වය, විනය අද බරපතළ ප්‍රශ්නයක් බවට මතුව තිබෙනවා. අද ජාතිවාදය අවුස්සනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අවුස්සන්න බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, ආගමික ජනතාව කුපිත කරන්න නොසන්සුන් බවක් ඇති කරන්න සමහරු කටයුතු කරනවා. ඒ සඳහා අන්තර්ජාල ෆේස්බුක් සහ ඇතැම් මාධ්‍යයද කටයුතු කරමින් සිටිනවා.

මීට දින දෙකකට පෙර රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනයක වැඩසටහනක් ප්‍රචාරය වුණා. ඒ වැඩසටහනට පැමිණි එක් මහත්මයෙක් කීවා මේ රටේ ක්‍රිස්තියානි කතෝලික පල්ලි 166කට මේ මාස කීපය තුළදී පහරදී තිබෙනවා කියලා. නිවේදකයා ඇහුවා ඔබතුමා වගකීමෙන්ද මෙය ප්‍රකාශ කරන්නේ කියලත්. ඒ පුද්ගලයා රටටම ලෝකයටම ඇහෙන්න කීවා කතෝලික පල්ලි 166කට පහර දීලා තිබෙනවා කියලා. මම මැල්කම් රංජිත් කතෝලික කාදිනල්තුමාට දුරකතනයෙන් කතා කළා. මම ඇහුවා මේ වගේ පල්ලි 166කට කිසියම් පිරිසක් කොලාහල කර අලාභහානි සිදුකර තිබෙනවාද කියලා. උන්වහන්සේ කීවා එසේ කිසිදෙයක් සිදුවී නැහැ කියලා.
මේ පාසල්වල දරුවන්ගේ නිල ඇඳුම් ගැන කතා කරනවිට, දැනට ඒ දරුවන් ඇඳගෙන එන නිල ඇඳුම හැර වෙනත් ආකාරයක නිල ඇඳුමක් සකස් විය යුතුයි කියා අමාත්‍ය මණ්ඩලය සහ අපි කිසිදු සාකච්ඡාවක් සහ කිසිදු තීන්දුවක් ගෙන නැහැ. මම ඒ බව වගකීමෙන් කියනවා. දැනට සිසුන් අඳින මේ හික්මුණු විනය ගරුක ආකර්ෂණීය මේ සුන්දර ඇඳුම කෙසේවත් වෙනස් නොවිය යුතුයි කියා මම පැහැදිලිව දරන ස්ථාවරයයි.

මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි මහානාහිමියන් අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.
මෙම චන්දානන්ද විදුහලෙන් දක්ෂ විනීත සිසුන් පිරිසක් අද සමාජයට දායාද කර තිබෙනවා. චන්දානන්ද විදුහල මල්වතු විහාරයටත් ශක්තියක් වෙනවා මෙන්ම අස්ගිරි මහා විහාරයටත් ශක්තියක් වී තිබෙනවා. වර්තමානයේ විදුහල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ විදුහලේ සිසුන් සහ මවුපියන්ද බෞද්ධ හැදියාවකට අනුව කටයුතු කරනවා.
අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි ආණමඩුවේ ධම්මදස්සි මහා නාහිමියෝ මෙසේ කීහ.

අතීතයේ විහාර මුල් කරගෙන අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. ඒ ක්‍රමය තුළ භාෂා ශාස්ත්‍රය පුළුල් වී මේ රටට ජාතියට ගැළපෙන භාෂා ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ රටේ සංස්කෘතියට ආදරය කළ බෞද්ධකම හොඳින් හදවතේ දරාගත් පුරවැසියෙක් බිහිකරන්නටයි අපේ පැරැණි අධ්‍යාපන ක්‍රමය බිහිවී තිබෙන්නේ. යුරෝපීයන්ට මේ රට යටත් වීමෙන් ඒ අපේ තිබූ අනන්‍යතාව කිසියම් තරමකට පසුබෑමකට ලක්වුණා. එහි ප්‍රතිඵල අදත් අප භුක්ති විඳිනවා.

රන්ගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ මෙසේ පැවසූහ.
අද මවුපියන් නගරයේ ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරනවා. අමතර පන්තිවලටද යනවා. දරුවන් අතට මුදල් ලබාදෙනවා. සමහර දරුවන් අමතර පන්ති නොයා ඉන්ටර්නෙට් කැෆේවල, සම්බාහන මධ්‍යස්ථානවල සිටින බවට ජනමාධ්‍ය වාර්තා පළවී තිබෙනවා. පාසල් දරුවන් අතර එච්. අයි. වී. වෛරසයද පැතිර ඇති බවත් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් වාර්තා වෙනවා. කෘෂිකාර්මික ජීවනෝපායක් ඇති ප්‍රදේශවල ගැහැනු දරුවන් විභාගවලට පෙනී සිට එහි ප්‍රතිඵල ලැබීමටත් පෙර දාරක ප්‍රසූතිය ලබන බවත් වාර්තා වෙනවා. මේ තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමුකළ යුතුයි.

මෙම උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් අපවත් වී වදාළ හිටපු අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි පලිපාන ශ්‍රී චන්දානන්ද ගුණරතන හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාරද දැක්වීය.

ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්