ඩෙංගු මාරයාට එරෙහිව සාමූහිකව සටන් වදිමු

  👤  2782 readers have read this article !
By mawbima 2017-06-19

ඩෙංගු රෝගය මේ වනවිට වසංගතයක්ව හිස ඔසවා ඇත්තේ පුද්ගල ජීවිත බොහෝ ගණනක් බිලිගනිමිනි. ජාතික වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව වසරේ මුල් මස හය තුළදී ඩෙංගු රෝගීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් 63,987ක් පිළිබඳ වාර්තා වී ඇත. ඉන් 46.62%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ඉකුත් වසරවලට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
2014 වර්ෂයේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 47,246ක් ලෙසය. ඒ වසරේදී 97 දෙනකු ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් මරණයට පත් වූහ. 2015 වසර වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 29,777කි. ඩෙංගු මරණ 60ක් වාර්තා වී තිබිණි. එය 2014 වර්ෂයට වඩා අඩු අගයකි. 2016 වර්ෂය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරමින් ඩෙංගු රෝගීන් 55,150ක් වාර්තා විය. මරණ සංඛ්‍යාව 90 තෙක් ඉහළ ගොස් තිබිණි. පසුගිය වසර කිහිපයක සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉක්මවමින් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ඩෙංගු යැයි සැක කරන රෝගීන් 63,987 වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගීන් හා මදුරු කීටයන් පිළිබඳ කළ පරීක්ෂණවල දත්ත අනුව දිස්ත්‍රික්ක ‍ෙදාළහක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ. ඒ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකළපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයි. ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීමට තම සමාජ වගකීම ඉටු කරන්නැයි ජනාධිපතිවරයා පැවැසීය.

මුල් කාලයේදී සතියකට ඩෙංගු රෝගීන් වාර්තා වී තිබුණේ 500ක් පමණකි. නමුත් මේ වනවිට සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,500කට අධිකය.
පසුගිය දිනවල කඩින් කඩ ඇති වූ වර්ෂාව මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීම මේ සඳහා බලපා තිබිණි. ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය වර්ෂා කාලයේදී වැඩිවන බව සත්‍යයකි. නමුත් ජනවාරි, පෙබරවාරි වැනි අධික උණුසුමක් පැවැති වියළි කාලයේදී පවා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබිණි. එයට බලපෑ මූලික හේතුවක් වී තිබුණේ ජලය ඒකරාශී වන ස්ථාන අධිකව පැවතීමයි. ඩෙංගු රෝග නිවාරණ වැඩසටහනවල නිරුවත එක් අතකින් ඉන් ප්‍රකට විය.

ජලය එක්රැස් වන තැන් අතර 40%ක් පමණ ඇත්තේ ඉවතලන දෑය. ඉවතලන පහසුවෙන් නොදිරන ද්‍රව්‍ය මෙන්ම දිරන ද්‍රව්‍යද ජලය එකතු නොවන සේ වළ දැමීම හෝ විනාශ කිරීම කළ හැකිය. එසේ නැතහොත් විකුණා මුදල් උපයා ගත හැකිය. වැසි ජලය රැඳී තිබිය හැකි ස්ථාන නිරතුරුව පවිත්‍ර කළ යුතුය. ආවරණය නොකළ ජලය රැස් කරන භාණ්ඩ හා ස්ථාන අවම වශයෙන් සතියකට වරක්වත් අතුල්ලා පිරිසුදු කළ යුතුයි. නළ ජල පද්ධති ක්‍රමවත් ලෙස නොමැති ප්‍රදේශවල ජලය බොහෝ විට ගබඩා කරනුයේ ටැංකි තුළය. ඒවා නිවැරැදි ලෙස ආවරණය කර නොතිබුණු විට මදුරුවන් බෝවේ. රාජ්‍ය ආයතන, නිල නිවාස, පාසල්, රෝහල් වැනි ස්ථානවල කැඩුණු ජල පද්ධති, වතුර රැඳෙන ස්ථානවල පායන කාලයේදී පවා ජලය රැඳී තිබේ.

ත්‍රිකුණාමලය, කින්නියා වැනි ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. එම ප්‍රදේශ පරීක්ෂා කිරීමේදී නළ ළිංවල උඩු පියනේ පවා මදුරුවන් බෝවන තැන් සොයා ගැනීමට හැකිව තිබිණි.

නිරන්තරයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට පමණක් සිදුකළ නොහැකිය. නිවෙසක, පන්සලක, පාසලක වුවත් වගකිව යුතු අයකු සිටිය යුතුය. නිරන්තරයෙන්ම තම වටපිටාව පරීක්ෂා කිරීමේ වගකීමක් ඔවුන්ට තිබේ. අවම වශයෙන් සතියකට වතාවක්වත් පරීක්ෂා කිරීමේ කටයුතු කළ යුතුය. බිත්තර පිපිරී වැඩිහිටි මදුරුවන් බිහි වීමට සතියක පමණ කාලයක් ගතවේ. ඒ ජීවන චක්‍රය මැදදී කැඩී යා යුතුය. ඒ නිසාම මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මෙන්ම ඉවත් කිරීමට නොහැකි ස්ථාන වසා දැමීම කළ යුතුය. කීට නාශක යෙදිය යුතුය.
පරිසරය පවිත්‍ර කරගැනීමේ මූලික වගකීම ආණ්ඩුවට පැවරීමට තරම් අප මුග්ධ විය යුතු නැත.

උදාහරණ ලෙස මුඛ රෝග පිළිබඳ කතා කිරීමේදී දත් කුහර වළක්වා ගැනීමට දන්ත වෛද්‍යවරුන් උපදෙස් දුන්නද ඊට අවශ්‍ය පිළියම් යෙදිය යුත්තේ රෝගියා මිස අන් කිසිවකු නොවේ. ඒ අයුරින් ආරක්ෂක හමුදාව, ග්‍රාම නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරයි. පුද්ගලයන් දැනුවත් කිරීමේ කටයුතු සිදුකරයි. මේවා අඛණ්ඩව සිදුකරගෙන යෑමට ඔවුන්ට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. තමන්ගේ ගෙවත්තේ ඇති දෑ ඉවත් කර ගැනීමට තමන් දැනගත යුතුය. ඉවතලන සැමන් ටින් එක රැගෙන යෑමට අයකු නොමැතිනම් එය මිදුලට හෝ පාරට විසි කළ යුතු නොවේ. එය තළා දමා ආවරණය කළ යුතුයි. දින දෙකක් පමණ කසළ රැගෙන යෑමට නොපැමිණිය හොත් කිසිවකුටත් ‍ෙදාස් කීමෙන් පලක් නොවේ. ඒවා වතුර එක් නොවන, මදුරුවන් බෝනොවන ලෙස තැබීම අපටද කළ හැකිය. ඩෙංගු හැදුණු අයකුගේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී ඒ අවටම මදුරුවන් බෝවූ ස්ථාන සොයාගත හැකිය.

ඩෙංගු වයිරසය ගෙන යන්නේ මදුරුවෙකි. මදුරුවාට වයිරසය පැමිණෙනුයේ රෝගී අයකුගේ ලේ උරාබිව් විටය. වයිරසය නැති නිරෝගී අයකුගෙන් ලේ උරා බිව් විට රුධිර සෛල පමණක් ශරීර ගත වේ. එය තේ සීනි සමඟ පානය කිරීමකට සමානය. උණ ඇති කාලයේදී පමණක්ම ශරීරයේ වයිරසය පවතී. උණ සෑදී මුල් දින පහක කාලය තුළ වයිරසය ශරීරයේ ජීවත්වේ. ශරීරයේ නිපදවන ප්‍රතිදේහත් සමඟ වයිරසය උදාසීන වී යයි.
බාහිර රෝගී අංශවල වැඩිපුරම ප්‍රතිකාර ගැනීමට පැමිණෙනුයේ උණ රෝගීන්ය. ඔවුන්ගේ ශරීරයේ වයිරසය පවතී. එවැනි තැන්වල මදුරුවන් බහුලව ගැවසෙනවා නම් වෛරසය ඉක්මනින් පැතිර යා හැකිය.

ලෝකයෙහි වෙනස් වන මොහොතක් පාසාම වෙනස් විය යුත්තේ අඳින පලඳින දෑ නොව මනස පුරවා ගත් ආකල්පය. රාත්‍රියේ බරවා පරීක්‍ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය නිලධාරීන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් විසින් ඒඩ්ස් ව්‍යාප්ත කිරීමට එවූ පිරිසකැයි සිතූ අය ගැන පසුගිය දිනවලදී අසන්නට ලැබිණි.
අප ජීවත් වන්නේ එවැනි මුග්ධ මිනිසුන් සිටින රටකය. ආකල්ප හීන මේ දුගී මිනිසුන් ජාතික ව්‍යවසනයක් අබියස පෙළ ගැස්වීම ඉතා සරල කාරණයක් නොවේ. එහෙත් ඒ සංකීර්ණ කටයුත්තට දැන් අප සූදානම් විය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්