ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන්නැයි කළ ඉල්ලීම ඉවතට

  👤  2795 readers have read this article !
By mawbima 2017-06-19

කේ.එස්. උදයකුමාර්

තමන්ව අත්අඩංගුවට ගන්නැයි දන්වා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන මෙන් ඉල්ලා ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකා මංගලිකා බින්දුසාර මහත්මිය වෙනුවෙන් ඇයගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඉල්ලීම ඉදිරිපත් කරමින් විත්තිකාර මංගලිකා බින්දුසාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායිකාව මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින අතර ඇය ලබන ජූලි මස 9 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

ඇය මෙරටට පැමිණ අධිකරණයට භාර වීමට අපේක්ෂා කරන බැවින් ඇය අත්අඩංගුවට ගන්නැයි දන්වා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙසද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම ඉල්ලීම
ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය. විත්තිකාරිය ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇයට අධිකරණයට පැමිණ භාර වීමට අවකාශය පවතින බැවින් වරෙන්තුව ආපසු කැඳවන්නැයි කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ සමයේ කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා කට්ටල මෙරටට ගෙනැවිත් භාවිත කිරීමට ඉඩ සැලසීම තුළින් විත්තිකාරිය රජයටත් රෝගීන්ටත් පාඩුවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.
මම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නැයි දන්වා අධිකරණය වරෙන්තු නිකුත් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්