අත්අඩංගුවේ සිටින සැකකරුවන් පැහැර ගත් සැකකරුවන් නොවන බව කීත් නොයාර් මාධ්‍යට ප්‍රකාශ කර නෑ

  👤  2847 readers have read this article !
By mawbima 2017-06-19

කේ.එස්. උදයකුමාර්

දැනට අත්අඩංගුවේ පසුවන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් තමා පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ නියම සැකකරුවන් නොවන බවට මාධ්‍යවේදී කීත් නොයාර් මාධ්‍යවලට කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව රහස් පොලිසිය කොළඹ මහාධිකරණයට දැන්වීය.

කිත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර තිබූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 6 දෙනකුට ඇප නියම කරමින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම දැනුම් දීම සිදු කෙළේය.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තම පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළ නියම සැකකරුවන් නොවන බවට කීත් නොයාර් මාධ්‍යවේදියා සත්හඬ, සහ ලංකා ගාඩියන් යන වෙබ් අඩවියේ ප්‍රකාශ කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව එම මාධ්‍යවේදියාගෙන් විමසීමක් කරන මෙන් අධිකරණය මීට පෙර රහස් පොලිසියට දැනුම් දී තිබිණි.

ඒ අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලිසිය ඊමේල් මාර්ගයෙන් කීත් නොයාර් මාධ්‍යවේදියාගෙන් විමසීමක් කළ බව කී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා එවැනි ප්‍රකාශයක් තමන් පුවත්පතකට හෝ කිසිදු ජනමාධ්‍යයකට නොකළ බව ඊට පිළිතුරු පණිවුඩයක් එවමින් කීත් නොයාර් මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇතැයි දැන්වීය.

මෙම සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි 2ක් ඉදිරිපත් වී ඇතැයි කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීම තුළින් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවද ප්‍රකාශ කළේය.
2008 වසරේ සිදුවූ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කිසියම් හේතුවක් නිසා හමස් පෙට්ටියේ දමා තිබූ බවත් එය විධිමත්ව නැවත ආරම්භ කළේ 2016 වසරේ දෙසැම්බර් මාසයේ සිටි බවත් ඔහු සඳහන් කළේය.

මෙම පරීක්ෂණවලට අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් රහස් පොලිසිය යුද හමුදාවෙන් ඉල්ලීම් කර ඇති බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යුද හමුදාව පාර්ශ්වයෙන් නිසි සහයෝගය ලැබෙන්නේ නම් පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදී මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා යෝජනාවක් කරමින් සැකකරුවන් දිනපතා හෝ සතියකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමේ පදනම මත ඔවුන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන්නේ දැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කෙළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන්ට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම මේ මස 19 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන ස්ථාවරය දක්වන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්