අනියම් බිරියගේ පෙර විවාහයේ හත් හැවිරිදි දරුවාට අමානුෂික වධහිංසා කරලා

  👤  2866 readers have read this article !
By mawbima 2017-06-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය /ආනන්ද කරුණාදාස,මිහින්තලේ-ර.මු.සු.රත්නායක

අනියම් බිරියගේ පෙර විවාහයේ හත් හැවිරිදි පිරිමි දරුවාගේ ජනනේන්ද්‍රිය ඇතුළු අවයවයන්ට අතින් පයින් පොලුවලින් හා බොරු කකුලකින් පහර දී තුවාල සිදුකර කෘෘරත්වය පාමින් අමානුෂික වධ හිංසාවන් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදාවේ ආබාධිත සෙබළ සුළු පියකු 28දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා පසුගියදා (16දා) නියෝග කළේය.
රණවිරු පුබුදු මාවත කණ්නට්ටිය මිහින්තලේ පදිංචි යුද සමයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වී පාදයක් අහිමිව දැනට සේවයෙන් ඉවත් වී සිටින රන්කොත් ගෙදර සුසන්ත ධර්මසිරි (42) යන සැකකරු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මිහින්තලය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ නිවසේ පදිංචිව සිටින ඔහුගේ අනියම් බිරිය වන කින්නේරිය වදාකඩ පොතුහැර පදිංචිව තිස් හතර හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පැමිණිලිකාරියගේ පෙර විවාහයේ සැමියා හැරගොස් ඇති බවත් පසුව සැකකරු හා ඇය දැන හඳුනා ගෙන අඹුසැමියන් ලෙස කාලය ගත කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
පැමිණිලිකාරිය සැකකරු සමඟ මාස තුනහමාරක සිට එකට ජීවත් වී ඇති බවත් මාස එකහමාරකට පමණ පසුව සැකකරු බාල වයස්කාර හත් හැවිරිදි දරුවාට දරුණු වධ හිංසා සිදුකර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වූවේය. සැකකරු අනියම් බිරියට අසල්වැසියන් සමඟවත් සබ¼දතා පැවැත්වීමට අවස්ථාව නොදෙමින් කෘෘරත්වය පාමින් නිවසේ කටයුතු කර තිබෙන බව පොලිසිය අධිකරණයට පැවැසුවේය.

සැකකරු විටින් විට දරුවාට අතින් පයින් බොරු කකුලෙන් හා පොලුවලින් පහර දී තිබෙන බවත් හිස බිත්තියේ ඇන තුවාල කිරීම රාත්‍රියේ සිට අලුයම වනතුරු දරුවා තනි කකුලෙන් සිටුවා තැබීම වැනි අමානුෂික වධ හිංසාවන් සිදුකර තිබෙන බවත් දරුවාට එල්ල කළ තදබල ප්‍රහාරයකින් ඔහු බිත්තියක හැපී දත් දෙකක් කැඩී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය 14 වැනිදා සැකකරු දරුවාගේ හිසට බුද්ධ ධර්මය පොතකින් පහර දී පසුදින එළිවෙන තුරුම පුටුවක් මත ඔහුව තනි කකුලෙන් සිටුවා ඇති බවත් වධ හිංසා සිදුකරන අවස්ථාවේ ජනනේන්ද්‍රියට පයින් පහරදීම නිසා එම ස්ථානයට දරුණු තුවාල සිදුවී තිබෙන බවත් සැකකරුගේ අමානුෂික පහරදීම නිසා සිරුරේ ස්ථාන රැසක තුවාල මෙන්ම තැළීම් දක්නට තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ප්‍රහාරයෙන් ජනනේන්ද්‍රියට තුවාල වීම නිසා දරුවා ශල්‍යකර්මයකට භාජන කර තිබෙන බව ද පොලිසිය අධිකරණයට දැන්වූයේය.

සිය අනියම් සැමියා විසින් දරුවාට සිදුකරන කෘෘර වධහිංසා ඉවසා දරා ගැනීමට නොහැකිව දරුවාගේ මව ඔහුට හොරා මිහින්තලය පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පසුව සිදුකළ ස්ථානීය පරීක්‍ෂාවේදී ඔහු දරුවාට අමානුෂික ලෙස සලකන පුද්ගලයකු බව අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය තවදුරටත් අධිකරණයට දන්වා සිටියේය. දරුවා පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා අනුරාධපුර

ශික්‍ෂණ රෝහලට ඉදිරිපත් කළ බවත් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවා දරුණු වධ හිංසාවන්ට ලක් වී තිබෙන බව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.කේ. සේනානායක මහතා නිගමනය කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූයේය.

දරුවා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකර කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා එතෙක් සැකකරු මේ මස 28 තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කළේය.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති රුක්මල් රත්නායක මහතා ඇතුළු ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් කොස්තාපල් විතානගේ (38787) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්