විමල් වීරවංශ රට යන්න කළ ඉල්ලීමට උසාවියෙන් අවසර

  👤  2782 readers have read this article !
By mawbima 2017-06-19

අමිල අබේරත්න

දින 5කට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමට කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර දුන්නාය.
පාකිස්තානයෙන් ලැබුණු ආරාධනාවකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන සමුළුවකට යෑමට හිටපු අමාත්‍ය වීරවංශ මහතා විදේශ ගත වීමට අවසර ඉල්ලා සිටියේය.

ජුනි 19 වැනිදා සිට ජුනි 23 වැනිදා දක්වා අමාත්‍ය විමල් වීරවංශ මහතාට විදේශගත වීමට මහෙස්ත්‍රාත්වරිය අවසර ලබා දෙමින් නැවත ලංකාවට පැමිණි පසු විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවද ඉදිරි නඩු දිනය වන අද (19දා) අධිකරණයේ පෙනී සිටිය යුතු බවද දන්වා සිටියාය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනවලට වීරවංශ මහතා බාධා කළ බවට කරුණු වාර්තා වී නොමැති බවද රට යෑමට සිදුකරන ඉල්ලීම පිළිබඳව සෑහීමකට පත්වන බවද මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

විදේශ ගත වීමට අවසර ලබාදීම පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විරෝධතාවක් දැක්වූයේ නැත.
නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳව අමාත්‍යවරයාව සිටියදී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40ක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් නවකෝටි දහසය ලක්ෂ තිස්පන් දහසකට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නඩු පවරා තිබේ.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රේමනාත් ‍ෙදාළවත්ත මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්