බදු ආදායමින් ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් පරීක්ෂණ ඇරැඹෙයි

  👤  2934 readers have read this article !
By mawbima 2017-06-19

කමල් මහේන්ද්‍ර වීරරත්න

රජය අල්ලස් වශයෙන් රුපියල් කෝටි සිය ගණන් වටිනා සුඛෝපභෝගී වාහන මැති ඇමැතීන්ට ලබාදීම ගැනත්, ජනතාවගේ දැවෙන ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙද්දී ඒවා නොවිස¼දා රජයේ බදු ආදායම් ඒ සඳහා යෙදවීමෙන් රජය දූෂණ ක්‍රියාවක නිරතවීම ගැනත් ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කළ බව නීතිපතිවරයා ශේ‍ර්ෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් ඉහත කරුණ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ තමා ඉදිරිපත් කළ ඉහත චෝදනාවන් අල්ලස් හෝ දූෂණ කොමිසම විභාග නොකිරීමට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සමක් විමසුමට යොමුවූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම කැඳවනු ලැබීය.
සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කොට සිටියේ රට උග්‍ර මුදල් හිඟයකට මුහුණ පා සිටින බවත්, ඒ හේතුව මත රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් අද වනවිට දරාගත නොහැකි මට්ටමට ජීවන වියදමද ඉහළ ගොස් තිබෙන බවත්, ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට අදාළ ප්‍රාථමික කටයුතු ටිකවත් සිදුකර ගැනීමට මුදල් නොමැති නිසා රජය අපොහොසත් වීමෙන් රට පුරා රෝහල් වාට්ටු මාරාන්තික ඩෙංගු රෝගය ඇතුළු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත් එසේ තිබියදී රජය මැති ඇමැතීන්ට අල්ලස් දීමට ජනතා මුදල් වැයකිරීම දූෂණ ක්‍රියාවක් වන බවත්ය.

මෙහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් නැඟීසිටි රජයේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විනිශ්චය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර සිටියේ පෙත්සමෙන් ඉල්ලා සිටිනු ලබන්නේ උගත් නීතිඥ මහතා පෙත්සම්කරු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල ගැන පරීක්ෂණ ආරම්භ කොට නැති බැවින් එම පරීක්ෂණ ආරම්භ කොට වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසටයි.
කොමිසම විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා එකී පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව, එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමේ අවශ්‍යතාවක් පැනනඟින්නේ නැහැ. එහෙයින් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙසට මා ඉල්ලා සිටිනවා.

පෙත්සම්කාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේද එකඟත්වය මත ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්