බද්දේගම නුගේතොට දී වෙඩි තැබීමක්

  👤  2922 readers have read this article !
By mawbima 2017-06-19

බද්දේගම - ඕ. කමලනාථ, වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්, ඉමදුව - ටී. විතානවසම්, අක්මීමණ - තේජා සිංහබාහු, හබරාදුව - අනුර ප්‍රියන්ත, බලපිටිය - දම්සරී ලියනගේ
ඇල්පිටිය, නුගේතොට ප්‍රදේශයේ පෙරේදා (17දා) සවස සිදු කළ වෙඩි තැබීමකින් නාවික සෙබළුන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉඩමක මායිම් වැටක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබීම කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා තිබෙන්නේ නිකවැරටිය, සුලෝගෙදර ප්‍රදේශයේ පදිංචි අයි. එම්. වන්නිනායක (23), පානදුර, මිනම්පිටිය ප්‍රදේශයේ පදිංචි නජිත් රුබේරු යන නාවික හමුදාවේ සේවය කරන භටයන් දෙදෙනෙකි. තුවාල ලබා තිබෙන අනෙක් පුද්ගලයා බද්දේගම, බොරලුකඩ ප්‍රදේශයේ පදිංචි ඩී. ජී. රංග නමැත්තෙකි.
වෙඩිතැබීම කර තිබෙන්නේ බලපත්‍ර සහිත බෝර 12 තුවක්කුවකින් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. වෙඩි තැබූ පුද්ගලයා ඒ ආසන්නතම ඉඩමක පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.

නාවික භටයන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් පෙරේදා (17දා) සවස ඉඩම එළි පෙහෙළි කිරීමේ නිරතව සිටින අතර, ඒ ස්ථානයට පැමිණි අසල්වැසි ඉඩමේ පුද්ගලයා මේ පිරිස සමඟ බහින්බස් වීමක් සිදුවුණු අතරතුර, අසල්වැසියා තම නිවෙසට දිවගොස් ගිනි අවියක් රැගෙන විත් වෙඩි තබා ඇත. දෙවැනි වෙඩිල්ල තබන අවස්ථාවේ පොර බදා වෙඩි තබන පුද්ගලයා බිම හෙළීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකුටද පහර දී වෙඩි තැබූ පුද්ගලයා පලා ගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ නාවික භටයන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. නාවික භටයන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත්, අනෙක් පුද්ගලයාගේ බඩ ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

වෙඩි තැබූ පුද්ගලයා ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහෙස්ත්‍රත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්