ජාලිය වික්‍රමසූරිය රට යන්න කළ ඉල්ලීම සලකා බැලීම අද

  👤  2822 readers have read this article !
By mawbima 2017-06-19

අමිල අබේරත්න

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකන් ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් අවභාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් මාස 3ක කාලයක් ඇමෙරිකාවට යෑමට අවසර ලබා දෙන ලෙස අධිකරණයට කළ ඉල්ලීම පිළිබඳව අද (19දා) සලකා බලන බව කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නාය.

එක් ඇසක් සම්පූර්ණයෙන් නොපෙනී යෑමේ අවදානමක් ඇති වී තිබෙන බවත් එම තත්ත්වය ඇස් දෙකටම බලපෑ හැකි බවත් සඳහන් කරමින් හිටපු තානාපතිවරයා ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ රෝහලකට ගොස් මාස 3ක කාලයක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වීමට අවසර ඉල්ලා තිබිණි.
ඉල්ලීම ඉදිරිපත් කරමින් හිටපු තානාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ හිටපු තානාපතිවරයාගේ එක් ඇසක් සම්පූර්ණයෙන් නොපෙනී යෑමේ අවදානමකට ලක්වී ඇති බවත් එය ඇස් දෙකටම බලපා හැකි බවත් ඒ සඳහා මාස තුනක කාලයක් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරමින් ඇමෙරිකාවේ ජෝරිජියාවේ පිහිටි රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට යෑමට අවසර ලබාදෙන ලෙසය.
විදේශ ගත වී ප්‍රතිකාර ලබාගැනීම සුදුසු බව ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් සහ හිටපු තානාපතිවරයාගේ ඇමෙරිකානු වෛද්‍යවරයා විසින් සහතික කළ වෛද්‍ය වාර්තාවක්ද ජනාධිපති නීතිඥවරයා විසින් ඉදිරිපත් කරනු ලැබිණි.

ජනාධිපති නීතිඥවරයා විසින් හිටපු තානාපතිවරයාට විදේශ ගතවීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයට කළ ඉල්ලීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් දැඩි විරෝධතාවක් දැක්වූ අතර ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට හිටපු තානාපතිවරයා කිසිදු සහායක් නොදී ඇති බව හා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශ ලබාදීම පවා මඟහැර තිබෙන බවයි.

හිටපු තානාපතිවරයා විදේශ ගත වුවහොත් යළි මෙරටට නොපැමිණීමේ අවදානමක් තිබෙන බවද විමර්ශනවලට බාධා ඇති විය හැකි බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලේඛන ගණනාවක් විමර්ශනය කර හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් ප්‍රකාශ ගණනාවක් ලබා ගැනීමට තිබෙන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් අධිකරණය හමුවේ පැවැසීය.

එයට පිළිතුරු සපයමින් හිටපු තානාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ජාලිය වික්‍රමසූරිය මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීම හෝ ප්‍රකාශ ලබාදීම කිසි ලෙසකින් මඟහැර නැති බවයි.

විදේශ ගත වූ පසු හිටපු තානාපතිවරයා මෙරටට නොපැමිණීමේ කිසිදු අවදානමක් නොමැති බවද තානාපතිවරයා සිටි සමයේ සහ ඊට පසු කාලයේ මෙරටට පැමිණෙන්නේ නැතිව විමර්ශන මඟහැර සිටීමට ඕනෑ තරම් අවස්ථා තිබුණු බවය.
සියලු කරුණු පිළිබඳව අද (19දා) සලකා බලන බව මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්