සංහිඳියා වැඩපිළිවෙළට බාධා කළොත් නීතිය හමුවට ගෙන එනවා

  👤  2916 readers have read this article !
By mawbima 2017-06-19

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

වෛරය වපුරවමින් අපරාධයන්හි නිරත ඊට වගකිව යුතු පුද්ගලයන්ව නීතිය හමුවට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයද අදාළ බලධාරීන්ට අවධාරණය කර සිටී.

සාමකාමී ස්ථාවරය ශක්තිමත් ආර්ථිකයක් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වෙමින් ඇති මොහොතක 21 වැනි සියවසේ ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරවීමට කිසිදු ඉඩක් තිබිය යුතු නැතැයිද එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරන්නේ ආගමික නොසන්සුන්තාව ජාතීන් අතර වෛරය වපුර වන රජයේ සංහිඳියා වැඩපිළිවෙළට බාධා කරන්නන් සම්බන්ධව නීතිය උපරිමයට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පසුගියදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය එක්සත් ජාතික පක්ෂය සාදරයෙන් පිළිගන්නා බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික සමඟි රජයේ සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කිරීමට කඩාකප්පල්කාරී කොටස් විසින් ක්‍රියාත්මක කරමින් සිටින මෑත කාලීන උත්සාහයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය බලවත් අවධානය යොමු කර ඇති බවයි.

ආගමික අසහනය ඇති කරන කිසිදු පුද්ගලයකුට, සංවිධානයකට චෝදනා ගොනු කිරීමෙන් වැළැකීමේ, මුක්තිය හිමිවිය යුතු නොමැති බවත් ජීවිත දහස් ගණනක් අහිමි වූ අඳුරු යුද සමය බඳු භීෂණ සමයකට යළි අපට ගමන් කළ නොහැකි බවත් එම මාධ්‍ය නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

ඒ අනුව පසුගිය කාලයේදී සිදු වූවාක් මෙන් ආර්ථිකය අඩපණ කරගැනීම හා ජාත්‍යන්තර හුදකලා වීම සිදුකරගත යුතු නොවන බවද එමඟින්
වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්