බදුල්ල උසස් අධ්‍යාපන ආයතනයේ නවක වදය දුන් සිසුන් 11ට ඇප

  👤  2831 readers have read this article !
By mawbima 2017-06-19

බදුල්ල _ ටී. බී. රත්නායක

බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ නවක සිසුන්ට බදුලුපිටියේ සිසු නේවාසිකාගාර නිවෙසක් තුළදී නවක වදය දුන්නැයි උසස් තාක්ෂණ ආයතනයේ 2 සහ 3 වසරවල කළමනාකරණ සංචාරක සත්කාරක පාඨමාලා හදාරන සිසුන් 11ක් ඉකුත් 16 වැනිදා රාත්‍රි බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූහ. එම සිසුන් 11 දෙනා පෙරේදා (17දා) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ආනන්ද මොරගොඩ මහතා සිසුන්ට තරයේ අවවාද කර ලක්ෂය බැගින් පෞද්ගලික ඇපමත මුදා හැරීමට නියම කෙළේය.

වැලිමඩ, බණ්ඩාරවෙල, සෙවනගල, දඹගල්ල, බදුලුපිටිය, කැප්පෙටිපොළ, බළන්ගොඩ, බදුල්ල, දියතලාව, බෙලිහුල්ඔය ප්‍රදේශවල පදිංචි බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ 2 සහ 3 වසරවල ඉගෙනුම ලබන සිසුන්ට මෙසේ ඇප නියම විය.

අප්‍රේල් මස බදුල්ල උසස් තාක්ෂණ ආයතනයට ඇතුළත් වූ නවක සිසුන් බදුල්ල බදුලුපිටියේ කුලී නිවෙසක නවාතැන්ගෙන සිටින බවත් මෙම පැරැණි සිසුන් රාත්‍රි එම නිවෙසට ඇතුළු වී නවක සිසුන් බිම වාඩිකරවා ඔවුන්ගේ හිසකෙස් කපා ශාරීරික වධ හිංසා කරමින් සිටියදී උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් පොලිසියට කළ දැනුම් දීමකට අනුව බදුල්ල පොලිසිය මඟින් සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත වැඩබලන බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පී. කේ. ගාල්ලගේ, උප පොලිස් පරීක්ෂක මංගල ජයතිලක, උප පොලිස්
පරීක්ෂක ජයවර්ධන කොස්තාපල් සමන්ත (35234) යන නිලධාරීහු
පරීක්ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්