කෝටි ගණනක් වටිනා ඉඩම් කොටසක් කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරති

  👤  3017 readers have read this article !
By mawbima 2017-06-19

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

කොළඹ කළුබෝවිල ප්‍රදේශයේ කාට හෝ ඉඩමක් තියෙනවා කියන්නේ කතා දෙකක් නෑ කෝටිපතියෙක්ම තමයි. එහෙම කෝටි ගණනක් වටිනා ඉඩම් කොටසක් පුද්ගලයෙක් යම් කටයුත්තක් සඳහා නොමිලයේ පරිත්‍යාග කළා කිව්වොත් පුදුමෙනුත් පුදුමයි නේද?

කළුබෝවිල ජීවත් වූ අක්කා, නගෝ දෙපළක් එවැනි මහඟු පින්කමක් සිදුකර ඇත. රුපියල් කෝටි විසිපහක් පමණ වටිනා ඉඩමක් කළුබෝවිල ශික්ෂණ රෝහලට පරිත්‍යාග කර ඇත්තේ ඉන්ද්‍රානිද කොස්තා සහ කමලාද කොස්තායි.
මෙම දේපළ රෝහලට දෙන්න සිත යොමු වුණේ කෙසේදැයි 'මව්බිම' අපි විමසුවෙමු.

"මේ දේ අපි දෙන්නා කළාට මුලින්ම ඉඩම පරිත්‍යාග කරන්න හිටියේ අපේ අම්මාගේ මල්ලි. ඒ කියන්නේ අපේ මාමා. එයාගේ නම ලයනල් වික්ටර් ෆොන්සේකා. මාමා විවාහයෙන් පසුව නැන්දා සමඟ ජීවත් වුණේ ඔය ඉඩමේ හදලා තියෙන දෙමහල් නිවෙසේ. මාමායි නැන්දයි සතුටින් ජීවත් වුණා. ඒත් එයාලට දරුවෝ හිටියේ නෑ. මාමා වයසට යනවිට හැමදාම කියපු දෙයක් තමයි මේ දේපළ කළුතර පන්සලට හරි, මහාභාරකාර දෙපාර්තමේන්තුවට හරි දෙනවා කියන එක.

එහෙම හිතන් ඉන්න අවස්ථාවේ මාමාට පපුවේ අමාරුවක් ඇවිත් කළුබෝවිල ඉස්පිරිතාලේ නැවැත්වුවා. එදා නැන්දට කියලා තියෙනවා දේපළ ටික රෝහලකට දෙමු, දීලා පොඩි තැනක් හොයාගෙන ජීවත්වෙමු කියලා. හිතූ දේ කරන්න කලින් මාමා මියගියා. නැන්දත් වයෝවෘද්ධ තත්ත්වයෙන් ඔත්පළ වුණා. එහෙම ඉන්න අවස්ථාවේදී නැන්දා කිව්වා මාමාගේ ඉල්ලීම කොහොම හරි ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඇයත් අසනීප තත්ත්වයෙන් මිය ගියා. ඉන්පසුව අපේ අම්මාගේ අනෙක් සහෝදරියගේ (ලොකු අම්මාගේ) ළමයින්ටත් ඉඩමෙන් කොටසක් දෙමු කියලා අපි තීරණයකට ආවා. මොකද ඒ අයටත් මේ දේපළවලට අයිතිවාසිකම් තියෙන නිසා. නීතිඥවරයෙක් මාර්ගයෙන් ඉඩම වෙන් කරන්න බූදල් නඩුවක් දැම්මා. එම නඩු තීන්දු අනුව ඉඩම බෙදුවාම මාමාට හිමි කොටස වුණේ පර්චස් 27ක කොටසක්. ලොකු අම්මාට සහ අපේ අම්මාට ලැබුණු කොටස් වුණේ පර්චස් 13 බැගින් කොටස් දෙකක්.

ලොකු අම්මාගේ කොටසේ ඇයගේ දරුවන් දැනට පදිංචිව සිටිනවා. අපි ඥාතීන් එක්ක කතාබහ කරලා තීරණයට ආවා. ඉඩම කළුබෝවිල රෝහලට දෙන්න. ඉස්පිරිතාලේට ගිහින් බැලුවාම පේනවා ප්‍රතිකාර ලබා ගන්න එන රෝගීන්ට සහ සායනවලට එන අය රෝහල් භූමියේ ඉඩකඩ මදි බව. ඒ හින්දා අපි දෙන්නට අම්මාගේ උරුමයෙන් ලැබුණු පර්චස් 13 සහ මාමාගේ කොටස වන පර්චස් 27ක කොටස එකතු කරලා පර්චස් 40ක කොටසම රෝහලට දෙන්න අපි දෙන්නා තීරණය කළා. ඒ අනුව අපි ඉඩම රෝහලට පරිත්‍යාග කළා"

මේ ඉඩමේ යම් ඉදිකිරීමක් සිදු කරනවා නම් එය රෝගීන්ගේ අවශ්‍යතා සඳහා පමණක්ම විය යුතු බවත් මාමාගේ කැමැත්ත වී තිබූ බව කමලා සහ ඉන්ද්‍රා මහත්මීහු වැඩිදුරටත් පැවසූහ.

ඒ අනුව පසුගිය ජුනි 13 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම ඉඩම පරිත්‍යාග කිරීම සිදුවිය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, කළුබෝවිල රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුද සහභාගි වී සිටියහ.

මෙම පරිත්‍යාගය පිළිබඳ අදහස් දක්වමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණරත්න මහතා කියා සිටියේ රෝහලේ ප්‍රධාන ‍ෙදාරටුවේ සිට මෙම ස්ථානය මීටර් සීයක් පමණ පාරේ දෙහිවල දෙසින් පිහිටා ඇති බැවින් එම ස්ථානයේ වකුගඩු පරීක්ෂණ රෝග සායනය සහා ප්‍රතිකාර කිරීමේ ඒකකය හෝ හෘද රෝග සායනය සහ ප්‍රතිකාර කිරීමේ ඒකකය පැවැත්වීමට අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අපේක්ෂිත බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත් හැකි ඉක්මනින් රජයෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගෙන ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නවීන තාක්ෂණික පහසුකම් යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වන පරිදි ගොඩනැඟිල්ලක් ස්ථාපිත කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්