පාසලට හොරෙන් පැන්න පියෙක් සිසුවකුට පහර දීලා

  👤  2893 readers have read this article !
By mawbima 2017-06-19

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම, මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්

ඉකුත් 15 වැනිදා ගිරිබාව ප්‍රදේශයේ පාසලකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකු එම පාසලේ ඉගෙනුම ලබන සිසුවකුට ඉතාමත් අමානුෂික අන්දමින් පහර දුන් පුවතක් වාර්තා වේ.

මෙසේ පහර කා ඇත්තේ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාසයට අයත් තඹුත්ත විද්‍යාලයේ 11 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන ආර්.එම්. පැතුම් දිල්ශාන් නමැති සිසුවාය.
සිදුවීම වූ දින මෙම පාසලේ සවස අතිරේක පන්ති පවත්වා ඇති අතර පන්ති පැවැත්වෙන අතරතුර 7 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් පාසලේ ඇති සීනුව ඉතාමත් ශබ්ද නැඟෙන සේ සොලවා තිබේ. දෙවතාවක් එම සීනුව නාද කිරීම නිසාත්, එයින් තම ඉගෙනීම් කටයුතුවලට බාධාවක් වන නිසාත් සීනුව නාද නොකරන ලෙස පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා තවත් සිසුවකු සීනුව නාද කළ සිසුවාට පවසා ඇත.

කෙසේ වෙතත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා එසේ පවසා පිටව ගිය පසු අනෙක් සිසුවාට සීනුව නාද කළ සිසුවා පරුෂ වචනයෙන් බැන දිව ගොස් ඇත. ඔහු පසුපස එළවාගෙන යමින් සිටියදී සීනුව නාද කළ සිසුවාගේ පියා පාසල ඉදිරිපිට වූ මාර්ගයේ වාහනයකින් යමින් සිට ඇත. ඒ අවස්ථාවේදී එම පුද්ගලයා පාසල ඉදිරියේ වාහනය නවතා එයින් බැස ගොස් ඔහුගේ දරුවා පසුපස පන්නා යන සිසුවාට කතා කොට ළඟට කැඳවා එම සිසුවාගේ හිසට හා කම්මුල්වලට මිට මොළවා පහර කිහිපයක් එල්ල කර තිබේ. පහර කෑ සිසුවාට ඒ අවස්ථාවේ ක්ලාන්ත ගතියක් සෑදී ඇති අතර ඔහු පන්ති කාමරයට ගොස් ඩෙස් එකක් මත හිස තබාගෙන සිට ඇත.
සිසුවාට පහර දෙන අවස්ථාව දුටු අනෙක් සිසුන් හා පාසලේ අමතර පන්ති පවත්වමින් සිටි ගුරුවරුන් දෙදෙනාද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් එන විට පහර දුන් පුද්ගලයා පාසලෙන් පිටව ගොස් ඇත.

ඉන්පසු පහර කෑ සිසුවාගේ මවුපියන් විසින් සිසුවා ගිරිබාව රෝහල වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන ගොස් අති අතර එහි සිටි හෙදියක් පවසා ඇත්තේ දරුවාට තුවාලයක් හෝ කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බවත්, ඒ නිසා බෙහෙත් ලබාදීමට නොහැකි බවත් නිවසට කැඳවාගෙන ගොස් පැරසිටමෝල් පෙති දෙකක් ලබාදෙන ලෙසත්ය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී සිසුවාගේ මවුපියන් විසින් සිසුවා නිවසට කැඳවාගෙනවිත් ඇති අතර එදින රාත්‍රියේ සිසුවාගේ හිසෙහි ඇතිවූ දැඩි වේදනාකාරී තත්ත්වය හේතුවෙන් ගල්ගමුව රෝහලට ඇතුළත් කොට තිබේ. එහි එක් දිනක් ප්‍රතිකාර ලැබූ දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති අතර සිසුවා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් ගිරිබාව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා ඇති අතර පහර දුන් සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බවත්, ගිරිබාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වී.පී.සී. දීපාල් මහතා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්