ඩෙංගු වසංගතය ඔඩුදුවයි

  👤  3213 readers have read this article !
By mawbima 2017-06-18

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

රට පුරා වේගයෙන් පැතිර යන ඩෙංගු වසංගතයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් දෙගුණ තෙගුණ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ සෑම අංශයකටම නියෝග කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පරිසර අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සෑම අංශයක්ම මේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියම කෙරේ.

විදෙස්ගතව සිටින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න ද මේ කටයුතු සඳහා කැඳවා ගැනීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව ඇමැතිවරයා සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීම නියමිතව තිබිණි.

සිකුරාදා වන විට ඩෙංගු රෝගීන් 62,000ක් වාර්තා වී ඇතැයිද මරණ සංඛ්‍යාව දෙසියයකට ආසන්න වී තිබෙන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
ඩෙංගු වසංගතය පවතින දිස්ත්‍රික්ක 21ක නිවාස පරීක්ෂා කිරීම හා ධූමායන කටයුතු බ්‍රහස්පතින්දා (15දා) ඇරැඹිණි.
අයි.ඩී.එච්. රෝහලේ ඇඳන් 151ක ඩෙංගු රෝගීන් 454ක් සිටීම නිසා ඇති වූ තදබදය මඟහැරවීමට තවදුරටත් රෝගීන් ඇතුළත් කර ගැනීම නතර කිරීමට එහි බලධාරීන්ට ඉකුත් බදාදා සිදුවිණි.

මේ වන විට බාල, තරුණ, මහලු සෑම තරාතිරමකම ජනතාව පවුල් පිටින් ඩෙංගු වසංගතයට ගොදුරුව සිටිති. ජීවිත අහිමි වූවන් අතර විවිධ තරාතිරම්වල අය සිටි බවද වාර්තා වේ.
රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්ද ඩෙංගු රෝගීන්ගෙන් පිරී තිබේ. ඇතැම් රෝහල්වල එක ඇඳක රෝගීහු දෙදෙනා බැගින් සිටිති. පෞද්ගලික රෝහලක පවා ඇඳක් වෙන්කර ගැනීමට එක් රෝගියකු ටිකට් කපා පිටවී යනතුරු බලා සිටීමට සිදුවී ඇත.

ආවාට ගියාට ධූමායනය නොකොට මැලතියන් දියරය, මැලේරියා මදුරුවා මර්දනයට නිවාස බිත්ති හා කීටයන් බෝවිය හැකි ස්ථානවල ආලේපයක් වශයෙන් යොදාගත් ආකාරයටම ඩෙංගු මදුරුවන් නැති කිරීම සඳහා යොදා ගත යුතු බව මැලේරියා හා බරවා මදුරු මර්දනයේ පළපුරුද්ද ඇති මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජයන්ත රණතුංග පෙන්වා දෙයි.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සියල්ලේම පාහේ ඩෙංගු මදුරුවාගෙන් බේරී සිටීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ගමින් ගමට ශබ්ද විකාශන භාවිතයෙන් ජනතාවට ලබාදීමද සිදු කෙරේ.

මදුරුවන් පලවා හරින පැඟිරි තෙල් වැනි ද්‍රාවණ ශරීරයේ ආලේප කර ගැනීම මෙන්ම මදුරුදැල් භාවිත කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අයි.ඩී.එච්. රෝහලේ උණ රෝගීන් භාර ගැනීම දැන් නැවත ආරම්භ කර තිබේ. ඒ අතර වෑතර, පිළියන්දල සහ තලංගම රෝහල් තුන අයි.ඩී.එච්. රෝහලට තාවකාලිකව අනුබද්ධ කර ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීමටද කටයුතු කර තිබේ.
හදිසි ආපදා කාලයක් ප්‍රකාශයට පත් කර දෙසතියක් කසළ කළමනාකරණය කිරීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයාට ජනාධිපතිවරයා දන්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්