සෞඛ්‍ය බලධාරීන්ට ඩෙංගු චෝදනාවක්

  👤  3187 readers have read this article !
By mawbima 2017-06-18

ජේ.ටී. ද සිල්වා

තඩෙංගු මාරයා මුළු රටම ගිලගැනීමේ භයානක උවදුරක් නිර්මාණය වෙමින් පවතිද්දී, එය මැඬපැවැත්වීම සඳහා නිසි පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීහු අපොහොසත් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

දරුණු ඩෙංගු වසංගතයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය ඇමැතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා රටින් බැහැරව සිටීම කිසිසේත්ම උචිත නොවන බව පවසන වෛද්‍ය හරිත අලුත්ගේ ඩෙංගු රෝගය නිසා ජනජීවිත අනතුරට පත්ව ඇති මෙවැනි අවස්ථාවක හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වශයෙන් අත්දැකීම් ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට සෞඛ්‍ය අමාත්‍යාංශය පවරාගෙන ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සක්‍රිය කළ යුතුව ඇතැයි සඳහන් කරයි.

පසුගියදා ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් නිසා අවතැන් වූ ජනතාව සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලැසූ අන්දමින් ඩෙංගු රෝග මර්දනය සඳහාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩෙංගු කළමනාකරණය සඳහා ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කර තිබෙන බවත් එම කමිටුව මේ මස 20 වැනිදා රැස්වී ඩෙංගු රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ රෝග වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝග මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ධූමායනය කිරීම් ප්‍රමිතියකින් යුතුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමද ඩෙංගු හිස එසවීමට හේතු වී ඇති බවද හෙතෙම සහන් කෙළේය. පසුගියදා ගංවතුර පැවැති අවස්ථාවෙත් සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රටේ නොසිටි බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ අවශ්‍යම අවස්ථාවල සෞඛ්‍ය බලධාරීන් නොමැතිවීම කනගාටුවට කරුණක් යැයිද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්