අපේ කණ්ඩායම වෙනසකට සූදානම් මැතිව්ස් හා ෆෝඩ් පවසති

  👤  2946 readers have read this article !
By mawbima 2017-05-19

විචිත්‍ර වීරසිංහ

ජුනි 1දා සිට 18දා දක්වා එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පෙරවරුවේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර, ඔවුන්ට සුබ පැතීමේ වැඩසටහනක්ද පසුගියදා කොළඹදී පැවැත්විණි.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ

ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පැවැසුවේ පසුගිය දිනවලදී පල්ලෙකැලේදී ලැබූ දින 6ක පුහුණුව ඉතාම වැදගත් වූ බවත්, මේ හා සමානව ඉදිරියේදී ලබන පුහුණුවත් යොදාගනිමින් තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට බලාපොරාත්තු වන බවත්ය.

"අපිට පළමු තරගය තියෙන්නේ දකුණු අප්‍රිකාව සමඟයි. ඔවුන් සමඟ තරග කිහිපයකට සහභාගි වූ නිසා අපි ඔවුන් ගැන හොඳින්ම දන්නවා. පසුගිය දිනවල පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීම සම්බන්ධයෙනුත් අපි පෙරට වඩා කැපවෙලා පුහුණුවීම් කළ නිසාත්, ඉදිරි සති දෙකේදිත් පුහුණු තරග තියෙන නිසා යහපත් මානසිකත්වයක් අපට තියෙනවා" යැයි පැවැසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ධනාත්මක අදහසක් දරන පුහුණුකරු ගේ‍රහැම් ෆෝඩ් පවසන්නේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දුර්වලතා පිළිබඳව අවබෝධයක් ලැබූ බවය. "අපට ඉන්නේ දක්‍ෂ තරුණ කණ්ඩායමක්. ඔවුන් දිනෙන් දිනම දියුණු වේගෙන එනවා. ලෝකයේ සිටින දක්‍ෂ ක්‍රීඩකයන් එක්ක තරග කිරීම විශාල අභියෝගයක් වුණත් ඒ ක්‍රීඩකයන් නොසිතන යමක් කිරීමට අපේ තරුණ ක්‍රීඩකයන්ට පුළුවන්" යනුවෙන් පැවැසූ ෆෝඩ් එංගලන්ත තණතීරු පිළිබඳව දරන්නේ මෙවැනි මතයකි. "මේ දිනවල එංගලන්තයට පවතින ගිම්හානය නිසා ටිකක් විතර වියළි තත්ත්වයක් තියෙන්නේ. ඒක අපිට වාසිදායකයි. ඒ වගේම ඕවල් තණ තීරුවේ වාර්තා වන ලකුණු ප්‍රමාණය වැඩියි. ඒකෙන් අදහස් කරන්නේ තණතීරු දඟ කැවෙනවා කියන එක නොවෙයි" යනුවෙන්ද කීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති ජයන්ත ධර්මදාස, ප්‍රධාන විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා එක්දින උප නායක උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද සහභාගි වී තිබිණි.

ඡායාරූප _ ලක්සිරි රුක්මන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්