පාරිභෝගික අධිකාරියෙන් එක දිගට වැටලීම්: දිරච්ච සහල් අලෙවිය ගැන විමර්ශනයක්

  👤  3016 readers have read this article !
By mawbima 2017-05-19

දෙනගම -
ධම්මික රණවීර

දිවයින පුරා සහල් වෙළෙඳ පොළේ පවතින අක්‍රමිකතා පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
සහල් වැඩි මිලට අලෙවි කිරීම, කල් ඉකුත් වූ හා පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවිය, කල් ඉකුත් වීමේ දිනය වෙනස් කිරීම වැනි අක්‍රමිකතා පිළිබඳ ලද පැමිණිලි අනුව එම විමර්ශන අරඹා ඇත.

හාල් පිළිබඳ එවැනි අක්‍රමිකතා සම්බන්ධව මැයි මාසයේදී පමණක් වැටලීම් 292ක් සිදු කොට ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
ඉකුත්දා (17දා) පිටකොටුව පරණ යොන් වීදියෙන් කල් ඉකුත් වූ සම්බා සහල් කිලෝග්‍රෑම් 10ක් සහිත බහාලුම් 220ක්, කල් ඉකුත් වීමේ දිනය 2018 මාර්තු ලෙස වෙනස් කර විකිණීම සඳහා ගබඩා කර තිබියදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම සහල් කිලෝග්‍රෑම් 50ක් සහිත බහාලුම් 25ක්, සහල් කිලෝග්‍රෑම් 10ක් සහිත බහාලුම් 276ක් සහ සහල් කිලෝග්‍රෑම් 5ක් සහිත බහාලුම් 126ක් 5 වැනි හරස් වීදියෙන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුව ගන්නා අවස්ථාවේදීත් එම සහල් තොගය කල් ඉකුත් වී තිබිණි.

එසේම නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 7කට එරෙහිව වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත. මැයි මාසයේ පමණක් සිදු කළ වෙළෙඳපොළ වැටලීම් 737න් වැටලීම් 292ක්ම සහල් සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ වැටලීම්ය.
කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත සභාපති හසිත තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම් සිදු කරනු ලැබූ අතර තවදුරටත් වෙළෙඳපොළ වැටලීම් පුළුල් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්