ආරච්චිකට්ටුවේදී ඇල්ලූ මෙරටට හෙරොයින් ගෙන්වන මහා ජාවාරම්කරුවා ඕමානයට පලා ගිහින්

  👤  3052 readers have read this article !
By mawbima 2017-05-19

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්

ආරච්චිකට්ටුව, මුතුපන්තිය ධීවර ගම්මානයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් මත් කුඩු තොගය මෙරටට ගෙන ආ බවට සැක කරන කල්ලියේ තවත් ප්‍රධාන ජාවාරම්කරුවකු මේ වන විට ගුවන් මඟින් ඕමානයට පලා ගොස් ඇති බව සිදු කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිවී ඇති බව පොලිසිය කියයි.
පාකිස්තානයේ සිට බහුදින යාත්‍රාවකින් හා එක්දින යාත්‍රාවකින් ගෙනැවිත් මුතුපන්තිය ප්‍රදේශයේ නඟුල්එළිය වෙරළට ගොඩ බා පසුව සුපිරි ඩිෆෙන්ඩර් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී හෙරෝයින් මත්කුඩු කිලෝ 211ක් සමඟ දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුබද්ධ බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ඉකුත් 11 වැනි දින අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

වයඹ පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත දිසා බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් මේ දිනවල දීර්ඝ වශයෙන් විමර්ශනය කරමින් සිටී.

මේ මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් 58 වැනි වියේ පසුවන කෝටිපති රථවාහන අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයා පසුගිය වෙසක් දින සැන්දෑවේ හලාවතට තවත් අයකු සමඟ පැමිණ දෙදෙනාම අඹකඳවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැය ගත කර ඇති බවත් එම උදවුකරු ලෙසින් පැමිණි අයද සුපිරි වාහනයකින් පැමිණි අතර ඔහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බවත් පොලිසිය පවසයි. වෙසක් දිනට පසුදින අලුයම ලැබුණු දුරකතන පණිවුඩයක් මත ව්‍යාපාරිකයා සිය ඩිෆෙන්ඩරයෙන් මුතුපන්තිය බලා ගිය බවත් අනෙක් සහකරු එම හෝටලයේම නතරව සිටි බවත් තම ව්‍යාපාරික මිතුරා පොලිසිය විසින් මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් බව දැනගත් වහාම අනෙක් සැකකරු සියලු සිද්ධි මේ ජාවාරමේ ප්‍රධානියා වන ඩුබායි සිටින අයට දන්වා තිබූ බවත් ඒ අනුව ඔහු විසින් ලබාදෙන ලද බවට සැක කරන උපදෙස් මත මාවනැල්ලේ අය වහාම හෝටලයෙන් පිටත්වී ගොස් සැඟවී සිට පසුගියදා (15දා) බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් ඕමානය බලා ගොස් ඇති බවටත් සිදුකළ පොලිස් පරීක්‍ෂණ අනුව හෙළිකර ගත් බවද පොලිසිය කියයි.

මේ අන්තර්ජාතික මත්කුඩු ජාවාරම ඩුබායි, ඕමාන් හා මැලේසියාව කේන්ද්‍ර කරගෙන සිදු කෙරෙන ජාවාරමක් බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත. මේ ජාවාරමේ සියලු තොරතුරු හෙළිකර ගෙන ඇතැයි පවසන පොලිසිය ඉදිරියේදී ජාවාරමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගත හැකි වන බවත් කියයි.
පුත්තලම දිසා බුද්ධි තොරතුරු ඒකකය වැඩිදුරටත් පරීක්‍ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්