මාරවිල දෙමටපිටියේ විදුලි බඩු අලෙවි සලක් ගිනිගනී

  👤  2974 readers have read this article !
By mawbima 2017-05-19

වෙන්නප්පුව -
ඇම්. ඩී. රවීන්ද්‍ර

මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය හන්දියේ පවත්වාගෙන ගිය විදුලි උපකරණ අලෙවි මධ්‍යස්ථානයක ඊයේ (18දා) අලුයම 2.30ට පමණ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළෙඳ සලේ රුපියල් කෝටි ගණනක් වටිනා විදුලි උපකරණ සියල්ලම ගින්නෙන් දැවී විනාශ වී ගිය බව මාරවිල පොලිසිය පවසයි.
මහල් පහකින් යුක්ත ගොඩනැඟිල්ලට දැඩි හානිවී ඇති අතර හටගත් ගින්න පුරා පැය හයකට අධික කාලයක් පැවැති බව පොලිසිය කියයි. ගින්න ඇතිවී පැය දෙකකට පසුව මීගමුව මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්ද, හලාවත නගර සභාවේ ගිනි නිවන රථයක්ද, පැමිණ පැතිරෙමින් තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කළත් අලෙවි මධ්‍යස්ථානයේ තිබූ විදුලි උපකරණ ඇතුළු සියලුම බඩු බාහිරාදිය ගින්නට හසුවී දැවී ගොස් තිබේ.

ගින්නට හේතුවක් තවමත් අනාවරණය වී නැති බවත් ඒ පිළිබඳව රස පරීක්ෂකවරයා කැඳවා ගින්නට හේතුව සොයා ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.
සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල ඇතුළු ප්‍රදේශවල ඇතිවන හදිසි ගිනි ගැනීම්වලදී ගිනි නිවන ඒකකයක් නාත්තණ්ඩිය හෝ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවලට නොමැති වීමෙන් ගිනි ගැනීමකදී ඇතිවන පාඩුව ඉහළ යන බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ගින්න සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන ප්‍රධාන පරීක්ෂක එස්. ඩී. ආර්. ප්‍රියන්ත මහතාගේ මූලිකත්වය මත වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්