සිතුල්පව්වට එන වාහනවලට පහර දෙන ‘නන්දිමිත්‍ර’ අල්ලා රේඩියෝ කොලරයක් පැලඳවීමේ සූදානමක්

  👤  3080 readers have read this article !
By mawbima 2017-05-19

සපුමල් ජයසේන

සිතුල්පව්ව විහාරයට පැමිණෙන බැතිමතුන්ගේ වාහනවලට පහර දෙන නන්දිමිත්‍ර නමින් හැඳින්වෙන ඇතා අල්ලා උෟට රේඩියෝ කොලරයක් පැලඳවීමට කටයුතු කරන බව තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

මේ ඇතා විසින් පසුගිය මාස කිහිපයක කාලය ඇතුළත විහාරස්ථානයට බැතිමතුන් රැගෙන පැමිණි රථවාහන 150කට ආසන්න සංඛ්‍යාවකට පහරදී අලාභහානි සිදු කොට තිබේ. රේඩියෝ කොලරය පැලඳවීමෙන් පසු ඇතාගේ ගමන්මඟ නිරීක්ෂණය කළ හැකි බවත් බැතිමතුන්ගේ ගමන් මාර්ගයට උෟ පැමිණෙන්නේ නම් එය කල්තියා හඳුනාගෙන සතාව අෑත කැලයට පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා කියා සිටී.

ඇතාගෙන් බැතිමතුන්ට සිදුවන හිරිහැර සලකා බලා සතා අල්ලා ඉවත් කරන ලෙස සිතුල්පව්ව විහාරාධිපති හිමියන් වනජීවී අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මේ පිළිබඳ අමාත්‍යවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ ඇතා ජීවත් වන්නේ උෟට අයත් භූමියේ බවත් සතා අල්ලා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්ය. සිතුල්පව්ව විහාරය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානය තුළයි.

නන්දිමිත්‍ර නමින් හැඳින්වෙන ඇතා සිතුල්පව්ව විහාරස්ථානයට පැමිණීමට හුරුපුරුදු වූයේ විහාරවාසීන් විසින් උෟට ආහාරපාන ලබා දීම නිසා බවද සතාව අල්ලා යාල ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට විහාරාධිපති හිමියන්ට කිසිදු අයිතියක් නැතැයිද වනජීවී නිලධාරීහු සඳහන් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්