ප්‍රජාතන්ත්‍රවාදය මායිම් නොකරන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මර්දනයයි

  👤  2972 readers have read this article !
By mawbima 2017-05-19

ජී. එස්. පී. බදු සහනය ලබා ගැනීමට රට පාවා දෙමින් යුරෝපා සංගමයට වූ පොරොන්දු වහා රටට හෙළි කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණ ඊයේ (18දා) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේ ද පැවැසීය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවට බදාදා එල්ල කළ ප්‍රහාරය අපි හෙළා දකිනවා. විහාර මහා දේවි උද්‍යානයට පන්නා ගෙන ගොස් එම ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කොට තිබෙනවා. ඒකෙන් පේන්නේ ආණ්ඩුවේ මනෝභාවයයි. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. මර්දනය ඔවුන්ගේ ප්‍රතිපත්තියයි.

ආණ්ඩුවේ වැරැදි ප්‍රතිපත්තිවලට එරෙහි වන සමාජය මර්දනය කරල පාලනය කරන්න හදනව නම් ඒක සැබෑ වෙන්නේ නැහැ. ලිච්ඡවී පාලන ක්‍රම ගැන කතා කළ ආණ්ඩුව බැටන් පොල්ලටයි, කඳුළු ගෑස්වලටයි, කැරලි මර්දන ඒකකයටයි පාලනය භාරදීලා. සයිටම් ප්‍රශ්න විසඳන්න ඒවට බැහැ.
රණවිරුවන්, බුද්ධි අංශ දඩයමට ලක් කරන්න ආණ්ඩුව එකඟ වෙලා. රටට සතුරු ප්‍රකාශ කරන්න විදෙස් නියෝජිතයන්ට ආණ්ඩුව අවස්ථාව දුන්නා. මේ රට ෆෙඩරල් කරන්න ආණ්ඩුව එකඟ වෙලා. රටට හානිකර පොරොන්දු ලබාදෙමින් ආණ්ඩුව ජී.එස්.පී. සහාය ලබා ගන්න කටයුතු කොට තිබෙන බව ඉන් පැහැදිලියි.
රටට ආර්ථික ස්ථාවරයක් මෙන්ම ආණ්ඩුවට දේශපාලන ස්ථාවරයකුත් නැහැ. ඇමැතිවරු තමන් බලු වී ඇති බව කියා සිටිනවා. ඇමැති මණ්ඩලය සංශෝධනය කරන්න ජනාධිපතිට බලය නෑ.

එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලටද මුසම්මිල් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
කලින් ආණ්ඩුව නිවැරැදි ලෙස කටයුතු කළා නම් සයිටම් ගැටලුව ඇතිවෙන්නේ නැහැ?
ඔබ අහන්නේ පිළුණු වුණු ප්‍රශ්නයක්. පසුගිය ආණ්ඩුවේ වරදක් තිබුණා නම් ඒක නිවැරැදි කරන්න මේආණ්ඩුවට වසර දෙකහමාරක් තුළ කළ හැකිව තිබුණා. ඒ ගැන ආණ්ඩුව නිශ්චිත තීන්දුවක් ගෙන නැහැ. මේ ප්‍රශ්නය ආණ්ඩුව වවාගෙන කනවා.

කැබිනට් සංශෝධනය ගැන මොකක්ද අදහස?
කැබිනට් සංශෝධනය කියන්නේ ඔළුවේ කැක්කුමට කොට්ටය මාරු කරන වැඩක්. රටේ ආර්ථික හා අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ආණ්ඩුවට බැහැ.
නරේන්ද්‍ර මෝඩි එන විට කළු කොඩි දමන්න ජානිපෙ යෝජනා කළත් විමල් වීරවංශ මහත්තයවත් කළු කොඩි දැම්මෙ නැතිලු?
ඒක රන්ජන් රාමනායක එයාගේ ෆේස්බුක් එකේ කියාපු කතාවක්. ඔහු කියන දේවල් කවුරුවත් ගනන් ගන්නේ නැහැ. මෝඩි වෙසක් උත්සවයට පැමිණීම ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඒ මුවාවෙන් එට්කා සඳහා බලපෑම් කිරීම ඇතුළු කරුණුවලටයි අපි විරුද්ධ වුණේ.

නමුත් හිටපු ජනාධිපතිවරයා මෝඩි හමු වී තිබෙනවා?
ඒක අපට ප්‍රශ්නයක් නොවෙයි. අපේ පක්ෂයේ අදහසයි අපි කිව්වේ.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්