‘ජනවාරි 8’ වෙනස කිරීමට ආණ්ඩුව අසමත් වෙලා

  👤  2939 readers have read this article !
By mawbima 2017-05-19

"ඉස්සර කාලේ දේශපාලනඥයෝ දේශපාලනය කෙරුවේ තමන්ගේ මෙන්ම පවුලේද නම්බුව රැකගන්නයි. ඒත් අද දේශපාලනය කරන අය ඒක කරන්නේ හොරකම් කරන්නයි වෙනත් මොකක් හරි ජඩ වැඩක් කරන්නයි" යනුවෙන් පසුගියදා කොටවෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවකදී ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ප්‍රකාශ කළේය. "පුනරුදය" මැයින් ජනතා ව්‍යාපාරයකින් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"අද වනවිට රටේ දේශපාලනඥයන් අපරාධකරුවන් රකින අතර අපරාධකරුවන් දේශපාලනඥයන්ට රැකවරණ දෙන රටක් බවට මේක පත් වෙලා. අද වැඩියෙන්ම දේශපාලනයට එන්නේ මහ ජනතාවගේ දේවල් හොරා කන්නයි.

එක ලේ බිඳක් හෝ නොසොල්වා නිදහස ගත්තා කියන අපේ රටේ අද වෙනකොට ලේ වගුරන රටක් බවට පත් වෙලා.
මේ හැම දේකටම, අපරාධකාරයෝ රකින දේශපාලනඥයෝ වගකිව යුතු යි. මිනිසුන්ට කන් යොමු කරයි කියලා හිතාගෙන ආපු ආණ්ඩුව අද කන් වහගෙන ඉන්නවා ඇහෙන්නේ නෑ වගේ. මේක නෙවෙයි ජනවාරි 8දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙලා වෙනසක් කෙරුවේ. මෙහෙම දිගටම මේ රට ගියොත් අපරාධකාරයන්ගේ රටක් වෙනවා නිසැකවම.

හැබැයි අපේ රටේ නායකයෝ මේක නොදැක්කාට ඉන්දියාවේ බිහිවුණු සියලු නායකයො මේක දැක්කා. යටත් විජිතවාදය දැකලා රට සංවර්ධනය කෙරුවා. එක තැන පල්වෙලා හිටියේ නෑ. අපේ රටේ ඡන්දයෙන් පත් වුණ හැම නායකයෙක්ම රට පාලනය කෙරුවේ වැඩවසම් විදියටයි. ලංකාවේ නිදහස දිනා ගැනීමට අරගල කෙරුවත් ජාතියේ පැවැත්මට නිසි අවබෝධයක් නොතිබුණු නිසා ඇතැම් අය බෙදුණා. ඒ හරහා වුණේ සමඟිය නැති වුණ එකයි. හැම කෙනාටම තිබුණේ බලයට ඒමේ සහ බලය රැක ගැනීමේ වුවමනාව විතරයි. මේක අද වන විට උපදින දරුවාටත් නූපදින දරුවාටත් ඉතා අහිමිරි ලෙස විදීමට සිදු වෙලා තියෙනවා.

අනෙක් රටවල් අද අපෙන් හුඟක් දේවල් ඉගෙන ගෙන ඒ රටවල් සංවර්ධිත රටවල් අතර ඉහළ තලයේ ස්ථාන හිමිකර ගත්දී මේ රට තියෙන ස්ථානවලිනුත් පහළට යන තැනකට වැටිලා. මේ සඳහා ජනතාව දැනුවත් කිරීමයි අපි "පුනරුදය" හරහා සිදු කරන්නේ. එහෙම නැතිව දේශපාලනයට එන්න හෝ තවත් දේශපාලනඥයකුට සහාය දීමට නොවේ. ඉදිරියේ මේ සඳහා රටේ දැනුමින් පිරිපුන් දස ලක්ෂයකට අධික පිරිසකී අපි රට තුළ ඇති කරනවා."

නිකවැරටිය - රසික කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්