රණවිරු දිනය අමතක කිරීම දේශපාලන කුහකකමක්

  👤  3045 readers have read this article !
By mawbima 2017-05-19

තිස් වසරක යුද්ධය අවසන් කර සියලු දෙනාටම මේ රටේ නිදහසේ ජීවත් වීමට අවස්ථාව සලසා දුන් රණවිරු දිනය සැමරීම හිතාමතාම අමතක කිරීම දේශපාලන කුහකකමක් බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ.
ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ ජයමහා බෝධියට පුද පූජා පවත්වා එතැන් සිට මයිලපිටිය රණවිරු ස්මාරකය දක්වා රණවිරු රථ පෙළපාළියක් ඊයේ ගමන් කළ අතර දිලුම් අමුණුගම පදනම මඟින් සංවිධානය කර තිබූ මෙම රථ පෙළපාළිය ආරම්භයේ කෙටි අනුශාසනාවක් සිදුකරමින් කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ මෙසේද කීහ.

මේ රටට මහා විපතක් සිදුකරමින් මියගිය එල්.ටී.ටී.ඊ. කොටි සාමාජිකයන් අද දේශප්‍රේමීන් වෙලා. මේ රටේ ලෙයින් තෙත් කළ, බෞද්ධ සිද්ධස්ථානවලට පහර දුන්, අහිංසක ජනතාව අමු අමුවේ මරාදැමූ කොටි ත්‍රස්තවාදීන් විනාශ කර සාමාන්‍ය මහජනතාවට නිදහසේ ජීවත්වීමට අයිතිය සලසා දුන් රණවිරුවන් අද දේශද්‍රෝහීන් වෙලා. උතුරේ සිවාජිලිංගම් කියන ප්‍රහාකරන්ගේ මස්සිනා අද ජනසංහාර දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. එදින ජනාධිපතිවරයා පැමිණියහොත් ඔහු යුද අපරාධකරුවකු ලෙස නම් කරන බවට තර්ජනය කළා.

මේ රට බේරාදුන් රණවිරුවන් අපට කවදාවත් අමතක කළ හැකිද? අද මේ රටේ නායකයන් මෙතරම් නිවට නියාලුවීම අපට විමතියට කරුණක්. මේ පිළිබඳව අප සියලු දෙනා අවදියෙන් සිටිය යුතු කාලයක් දැන් එළඹිලා තිබෙන්නේ.
අද මේ රට එක්සේසත් කළ දිනයයි. එය අමතක නොකරන කෘතවේදී මිනිසුන්ට අප ආශීර්වාද කළ යුතු යැයි ද උන්වහන්සේ කීහ.

ශ්‍රාස්ත්‍රාචාර්ය ගල්කැටිවෙල රතනවංශ හිමියෝ
අප මෙසේ ප්‍රසිද්ධියේ රණවිරුවන් සැමරීම සිදු කළත් රටේ සාමාන්‍ය මහජනතාවට ඒ පිළිබඳ හැඟීමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ හැඟීම දනවන ආකාරයේ ක්‍රියාවක් රටේ කිසිදු තැනක සිදුවන ආකාරයක්ද පෙනෙන්නට නැහැ. කොටින්ම කියනවා නම් ඒ පිළිබඳව අපේ රටේ පොදු ජනතාව නිදිබර ගතියෙන් පසුවන්නේ.
මෙම රණවිරු සැමරුම් පෙළපාළිය සංවිධානය කළ දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා මෙසේ පැවැසීය.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු සිදු කළ පළමු කාර්ය වූයේ රණවිරුවන් වෙනුවෙන් තිබූ විජයග්‍රහණයේ පෙළපාළිය අවලංගු කරන එකයි. ඒ නිසා මේ රණවිරුවන් ලබාගත් එම ජයග්‍රහණයන් අමතක කරවන්න රජය උත්සාහ දරනවා.

නමුත් පරාජය වුණු ත්‍රස්තවාදීන් අද ස්මාරක ඉදිකර මේ සැමරුම සිදුකරනවා. උතුරේ පහන් පත්තු කරනව. යුද්ධය දිනපු අපි අද පරාජිතයන් බවට පත්කරන්න රජය කටයුතු කරගෙන යනවා. ඒ නිසා කළගුණ දන්නා ජනතාවක් ලෙස අප ඉදිරියටත් මේ කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්