කැබිනට් සංශෝධනවලින් වැඩක් නැහැ රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක්

  👤  3048 readers have read this article !
By mawbima 2017-05-19

ආණ්ඩුවේ වංචා සහ දූෂණ හෙළි කරන පුද්ගලයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති බව ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා මාමලා බෑනලා කොල්ලකෑ මුදල් ආපසු ජනතාවට නොදුන් බව හෙළි කිරීම නිසා අද වන විට විවිධ හේතු පෙන්වමින් මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රිවරුන්ව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ඒ මහතා පැවැසීය.
ඊයේ (18දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මැයි 18දා කියන්නේ සමරන්න ඕනෑ දවසක්. ඉතාමත් කෙටි කාලයක් තුළ අපි දියත් කළ මානුෂික මෙහෙයුම තුළින් ලැබිය යුතු වරප්‍රසාද, වරදාන ගණනාවක් ලබාදුන්නා. ඒ සංවර්ධනය තුළින් යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පසුව උතුරේ ඉන්න දෙමළ වැසියන්ට දුන්න කිසිම වරදානයක් වරප්‍රසාදයක් ලබාදෙන තත්ත්වයක් නැහැ. පාර්ලිමේන්තුවේ ටී.එන්.ඒ මන්ත්‍රිවරු අ‍ෙ¼දා්නා තියනවා කෝ උතුරට දෙනවා කියපු සංවර්ධනය කියලා.

දකුණට සංවර්ධනය ගෙන ගිය යම් යම් ව්‍යාපෘතිවල තත්ත්වයත් එහෙම්මමයි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දීලා තිබෙනවා හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව අත්අඩංගුවට ගන්න කියලා. මෙතුමාව අත්අඩංගුවට ගන්නේ කැරම් බෝඩ් සිද්ධියට. මේ සම්බන්ධයෙන් ඔහුට කොටුව උසාවියේ නඩුවක් තියෙනවා.

හැබැයි අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයට යෑමට පෙර අත්අඩංගුවට ගන්න ඕන අයගෙ ලැයිස්තුවක් දීලා තියෙනවා. ඒකේ උඩින්ම තියෙනවා මහින්දානන්දගේ නම. ඒක අපට දැනෙන්නෙ එන්න ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න ඕන කියන ප්‍රකාශය හැටියටයි. එහෙම වුවමනාවක් තමයි මේ මෙහෙයුමේ තියෙන්නේ.
මහින්දානන්ද මන්ත්‍රිතුමාගෙන් මේ පළිගැනීම සිදු කරන්නේ ටොප් ටෙන් වැඩසටහන යටතේ අගමැතිවරයාගේ සිට මුදල් ඇමැති ඇතුළු රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන්ට විරුද්ධව ගෙනාව ප්‍රකාශ නිසයි. අද අගමැතිවරයාගේ උපදෙස් ලැබිලා තියෙන්නේ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් හරහා ජනාධිපතිවරයාට අභියෝග කිරීමටයි. ඔවුන් අභියෝග කරන්නේ කැබිනට් සංශෝධනයක් කෙරුවොත් බලාගමු, එහෙම කළොත් මේ ආණ්ඩුව තියන්න දෙන්නේ නැහැ, මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා හැදුවේ අපි, එහි බලය තියෙන්නේ එ.ජ.ප.ය.ට කියලයි.

මම දන්නේ නැහැ එ.ජා.ප.යෙ.න් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ගත්ත අගමැතිවරයාද රටේම ඡන්ද අරගෙන ආව ජනාධිපතිවරයාද රටට වගකියන්න ඕන කියලා හිතාගන්න බැහැ. පසුපෙළ මන්ත්‍රිවරුන් මේ ආරක්ෂා කරන්නේ මේ රටේ හොරකම් කළ අයව. කැබිනට් සංශෝධනයක් නොවෙයි ආණ්ඩු සංශෝධයක් තමයි අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. මොන සංශෝධන ගෙනාවත් රටේ පවතින තත්ත්වයට විසඳුමක් දෙන්න පුළුවන් ආණ්ඩු සංශෝධනයකින්.
මේ රටේ හොරකම් කරපු පිරිස, ධනස්කන්ධය හොරකම් කළ පිරිස, කෝට් අඳින පැළැන්තිය වහාම රටට හෙළි කළ යුතුයි. ඒ ආයතන වහාම නවැත්විය යුතුයි. අද මාධ්‍ය ආයතන පටන්ගෙන තියෙනවා හොරකම් කරපු සල්ලිවලින්.

පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා
මේ රටේ සෑම ජන කොටසකටම වැදගත් දවසක් තමයි අද දිනය. මේ රට ලේ විලක් අමු සොහොන් පිටියක් බවට පත් වෙලා තිබුණ යුගයක තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අපේ රණවිරුවන් තමන්ගේ ජීවිත පූජා කරලා දිනාගත්තේ. එහෙත් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අපෙ රට බේරාගත්ත රණවිරුවන්ව දඩයම් කිරීමට පටන්ගෙන තිබෙනවා.

වෙල්ලමුල්ලි වයික්කාල්වලදී මිහිදන් කරපු ත්‍රස්තවාදය නැවත හිස ඔසවන තත්ත්වයක් දකින්න තිබෙනවා. මේ තත්ත්වයට හේතුව තමයි වත්මන් ආණ්ඩුවෙ කශේරුකාවක් නැති නායකයෝ ඉඳගෙන මේ රට නැවත ලේ විලක් බවට පත් කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරමින් යනවා.
ඒ නිසාම තමයි කඩදාසි කොටියන් හැටියට අපි සලකන සිවාජිලිංගම් වැනි පුද්ගලයෝ අද මේ රටේ නායකත්වයට, විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අභියෝග කරන්නෙ ''පුළුවන් නම් උතුරට වරෙන්, ආවොත් බලාගමු'' කියලා.

ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් කිසිදු නායකයකුට ඇති වෙලා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කශේරුකාවක් නැති නායකයන්ට අපි කියනවා මේ රට දිනා දුන්න ආදරණීය රණවිරුවන්ගේ ගෞරවය රැක දෙන්න කියලා. මොකද අද රට දිනා දුන් සියලු දෙනාගේ ගෞරවය මේ ආණ්ඩුව නැති කරගෙන යනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාව තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්න දෙන්නේ නැති බව අවධාරණය කරන්න කැමැතියි. කඩදාසි කොටින්ව මෙල්ල කරන්න පුළුවන් හයියක් තියෙන පිරිසක් හැටියට ඒකාබද්ධ විපක්ෂයේ අපි කටයුතු කරනවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප _ මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්