ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පොරොන්දුව ඉටුකරන්න

  👤  2947 readers have read this article !
By mawbima 2017-05-19

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පීඩනයෙන් බේරීමට සහ ජී.එස්.පී. ප්ලස් සහනය රටට ලබාගැනීම සඳහා අප රට තුළ මානව හිමිකම් සම්මුතීන් සම්මත කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුව මැදිහත් වෙනවා නම් එය රට පිළිබඳව අවංක චේතනාවෙන් කරන ක්‍රියාවක්ද යන වග පිළිබඳව තමන්ට සැකයක් ඇතිවන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
විජිත හේරත් මන්ත්‍රිවරයා මේ අදහස් පළකළේ පසගියදා (16දා) කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති 'පුද්ගලයන් අතුරුදන් කිරීම අපරාධ වරදක් කරනු' මහජන සම්මන්ත්‍රණයේදීය.

ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි.
මේ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් අදහස් දැක්වූ විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.
අතුරුදන් වීම් මේ රටේ මාධ්‍යවේදීන්ට පමණක් සීමා වුණේ නැහැ. ඒක සමස්ත පුරවැසියන්ටම මුහුණදෙන්න වෙන දෙයක්. 1971 රජය මඟින් නීතියක් පැනවූවා, පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මළ සිරුරු ඉවත් කළ හැකිය කියලා. එහෙම ඉතිහාසයකුත් මේ රටේ තිබුණා. පසුගිය වසරේ මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මුතියට අපි එකඟ වීම වැදගත් දෙයක්. එය මේ රටේ නීතියක් බවට පත්විය යුතුයි. මෙම පනත පසුගිය පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහෙත් තවම සම්මත වී නැහැ. මෙම පනතට ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව එකඟයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙද්දී යහපාලනය පිළිබඳ සංකල්ප ඉදිරිපත් කරද්දී බොහෝ දේ ජනතාවට ඉටුකරනවා කියලා පොරොන්දු වුණා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, තොරතුරු දැනගැනීමේ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි බොහෝ දේ ජනතාවට කිව්වා. සියලු දේ ඉෂ්ට වෙලා නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන්න ආණ්ඩුවට පුදුම හදිසියක් තිබුණා. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය වෙනස් කරලයි හදිසියේ පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ. ඒකට ලොකු විරෝධයකුත් එල්ල වුණා. නමුත් පනත සම්මත වුණා. අපි ඉදිරිපත් කරපු සංශෝධන තුනෙන් දෙකක් පමණයි සම්මත කරගන්න පුළුවන් වුණේ. අංගසම්පූර්ණ පනතක් විදියට මෙම පනත සම්මත කරගන්න ආණ්ඩුව සමත් වී නැහැ.

එදා නෝර්වේ අගමැතිවරිය ලංකාවට ඇවිල්ලා හිටියා. හවස එතුමිය හමුවන්නත් අගමැතිතුමාට තිබුණා. අගමැතිතුමාට තිබුණා පනත සම්මත කරලා එතුමියව හමුවීමට යන්න. අපි රටක් විදියට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරන්න ඕනේ. ඊට රජය මැදිහත් විය යුතුයි. ඊට රජයක් බැඳී සිටිනවා. ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකරනවා නම් අලුත් සම්මුතීන් ඇතිකර ගත යුතුයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන්න ඕනේ. ආණ්ඩුව එම පනත අහෝසි කරනවා කියලා පොරොන්දු වුණා. දැන් එය වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වෙනුවට වෙන පනතක් රැගෙන ආවොත් වැඩක් නැහැ. බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ඇතුළත් වන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි.

එහි සංශෝධන පිළිබඳ සංවාදයත් දැන් අවසන් වෙලා තිබෙන්නේ. අතුරුදන් කිරීමකට වැරැදිකරුවෙක් වුණොත් ඔහුට දෙන දඬුවම අවුරුදු විස්සක සිර දඬුවමක්. එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අතුරුදන් කරවීම සමාජ අපරාධයක්. එවැනි දේවල් වෙනස් විය යුතුයි.
නීති සම්මත වූ පමණින්ම අතුරුදන් කරවීම් හෝ මේ වෙන වැරැදි නවත්වන්න බැහැ. සමස්ත සමාජයම වෙනස් විය යුතුයි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම්, අධිකරණය, පොලිසිය ඒ ආයතනවල තිබෙන පරණ ගතානුගතික අදහස් වෙනස් විය යුතුයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව අලුත් ප්‍රායෝගික දැනුම අවබෝධයක් සහිත පොලිසියක් නිර්මාණය විය යුතුයි.

අධිකරණයේ භාවිතාව නූතන සමාජයට ගැළපෙන අයුරින් වෙනස් විය යුතුයි. මානව හිමිකම් කොමිසම ගැන සමහර සාමාන්‍ය පුරවැසියන් දන්නේ නැහැ. මානව හිමිකමක් උල්ලංඝනය වුණොත් එම කොමිසමට ක්‍රියා කළ හැකි වඩා සවිමත් බලයක් ලබාදුන්නොත් මානව හිමිකම් කොමිසමට බය වෙනවා. මෙම සමස්ත මෙවැනි ආයතන පද්ධතියේම අභ්‍යන්තර හරය වෙනස් කිරීමකින් පමණයි සමාජ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්.
ඒ නිසා නීතිය ඉතා වැදගත්. නීතිය සම්මත කරගැනීම වගේම පොදු සමාජ තත්ත්වය වෙනස් කිරීම සඳහාත් සමස්ත ආයතන පද්ධති බලාත්මක කළ යුතුයි. එවිට අවාසනාවන්ත තත්ත්වයන් අඩු කරගන්න පුළුවන්.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්