ජනාධිපති පැමිණෙන උත්සව පැයකට සීමා කළ යුතුයි

  👤  2984 readers have read this article !
By mawbima 2017-05-19

ජනාධිපති පැමිණෙන උත්සවය පැයකට සීමා කොට රැස්වීම් පැවැත්වීමේ නව සම්ප්‍රදායක් හඳුන්වා දෙමුයි යෝජනාවක් කරන ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක බොරුවට පැය ගණන් වරු ගණන් දිග්ගස්සන කතාවලින් කිසි තේරුමක් නැතැයි පවසයි.
ඇමැතිවරයා එසේ පැවැසුවේ බෙන්තර ගංතෙර ඉදිකර ඇති බුදු පිළිමය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගැනීමට උත්සවය සංවිධානය කිරීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

නාහිමියන්ගේ අධිෂ්ඨාන ශක්තිය නිසා මේ බුදු පිළිමයේ වැඩ මේ අන්දමින් කර ගැනීමට හැකි වී තිබෙනවා. මේ උත්සවේ හොඳට කර ගැනීමට අවශ්‍ය යැයි නාහිමියන් මට කිව්වා. මම නාවික හමුදාපතිගෙන් කළ ඉල්ලීමකට අනුව මේ පිළිමයේ තීන්ත ආලේප කිරීම සඳහා නාවික භටයන් ලබා දුන්නා. කලින් ජනාධිපතිතුමාගෙන් ලබා ගත් දිනය යම් යම් ප්‍රශ්න නිසා වෙනස් කර ගැනීමට සිදු වුණා. නැවත දිනයක් ලබා ගැනීමේදී ජුනි මාසයේ 6 වැනිදා ලබා ගැනීමට හැකි වුණා. එදින උත්සවය පැයකට සීමා කරගන්නා ලෙස මම යෝජනා කරනවා. අප සමාජයට අලුත් ආදර්ශයක් ලබා දිය යුතුයි. පැය ගණන්, වරු ගණන්, රැස්වීම් පවත්වා බොරුවට දිග්ගස්සන කතාවලින් තේරුමක් නැහැ. ජනාධිපතිතුමාගෙන් මේ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රැස්වීම කෙටියෙන් නිම කොට රටට අලුත් සම්ප්‍රදායක් හඳුන්වා දෙමු. එවිට කුඩා දරුවන් සමඟ එන මවුපියන්ටත් පහසුවක් වනු ඇති. කෙටි වුවත් ඉතා අලංකාර උත්සවයක් පවත්වමු. මේ අවස්ථාවේ සජීවී රූපවාහිනි විකාශයක් ලබාදීම සඳහා දැනට සාකච්ඡා කරමින් සිටිනවා. එය බොහෝ දුරට සාර්ථක වේවි.

ලංගම බස් රථ දැන් කිසිම කෙනකුට නිකම් ලබා දෙන්නේ නැහැ. ඕනෑම දේශපාලන පක්ෂයකට මැයි දිනයට වුණත් ලංගම බස් රථ ලබාගත හැක්කේ කලින් මුදල් ගෙවීමෙන් පසුවයි. ඒ නිසා බුදු පිළිමය විවෘත කිරීමට ජනාධිපතිතුමා බෙන්තරට පැමිණෙන මේ උත්සවයටත් පයාගල සිට බෙන්තරට හිමිවරුන් වැඩම කරවීමට බස් රථ දෙකක් අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා අය කරන ගාස්තුව අපට කියන්න. නිකම් දෙන්න එපා. එහෙම කළොත් ලංගම ලාභ ලබන්නේ කොහොමද?
ඒ වගේම අපේ ජනාධිපතිතුමා බෙන්තරට පැමිණෙන උත්සවයේදී බෙන්තර ගංතෙර ඉදිකර ඇති බුදු පිළිමය විවෘත කිරීමට අමතරව අපේ ජිනානන්ද හාමුදුරුවන්ට නාහිමි පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමත් ඉතා චාම් අයුරින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. දැන් මේ බුදු පිළිමය ඉතා අලංකාරවත් අයුරින් ගාලු පාරේ යනෙන අයගේ ශ්‍රද්ධාව වැඩි කරන අයුරින් නිම වෙමින් පවතිනවා
.
බෙන්තොට - ඇම්. මීගහපළ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්