මඟුල් ගෙදරට දඩමස් ගෙන යද්දී මාට්ටු

  👤  3030 readers have read this article !
By mawbima 2017-05-19

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කුඹුක්වැව ප්‍රදේශයේදී ත්‍රීවීල් රථයකින් දඩමස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර උද්‍යාන මූලස්ථාන කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

ලැබුණු තොරතුරක් ඔස්සේ පෙරේදා (17දා) රාත්‍රි 8.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීම් සිදුකරන අවස්ථාවේ මස් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රීවීල් රථයේ දෙදෙනකු සිට ඇති අතර එක් අයකු පලාගොස් තිබේ. වනජීවී නිලධාරීන් විසින් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සෝදිසි කිරීමේදී ත්‍රීවීල් රථය තුළ මුව හා වල් උෟරු මස් කිලෝ 80ක් පමණ තිබූ බව වනජීවී නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මංගල උත්සවයක් සඳහා මස් තොගය ගෙන යන බවයි. සැකකරු තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකි. පලාගිය සැකකරුද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වනජීවී නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා මස්, මස් ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථය ඊයේ (18දා) තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
මෙම වැටලීම ලුණුගම්වෙහෙර උද්‍යාන මූලස්ථාන කාර්යාලයේ නියෝජ්‍ය උද්‍යාන භාරකරු ඩබ්ලිව්. එම්. ඒ. ගුණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්, වන සත්ත්ව නියාමක නවීන් රංගන, හසාන් හෙට්ටිආරච්චි, කැලුම් මුදලිගේ හා රියැදුරු වීරසිංහ අමරකෝන් යන නිලධාරීන් සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්