සභාපති ඇතුළු 21කට අද උසාවි එන්නැයි සිතාසි

  👤  3052 readers have read this article !
By mawbima 2017-05-19

කුමුදු උපුල් ශාන්ත

යතුරුපැදි සම්මේලනය මඟින් ඉදිරියේදී පවත්වන රැස්වීම්වලට හා වැඩ කටයුතුවලට සහභාගි වීම තහනම් කරමින් එම සම්මේලනයේ වත්මන් සභාපතිවරයා තමන් වෙත යොමුකර තිබෙන ලිපිය අවලංගු හා බලශූන්‍ය කරන ලෙසට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වූ තිරුපති රගුනාදන් මහතා පවරා ඇති නඩුවේ විත්තිකරුවන්ට අද (19දා) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නුගේගොඩ දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය.

එම සම්මේලනයේ වත්මන් සභාපති, උප සභාපතිවරුන් හා ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයන් 21 දෙනකුට එසේ සිතාසි නිකුත් කිරීමට නියම විය.

පැමිණිලිකාර රගුනාදන් මහතා සිය නීතිඥවරයා වන සනත් විජේවර්ධන මහතා මඟින් නඩුවක් ගොනු කරමින් පවසා සිටින්නේ ඔහු මීට පෙරදී ඉහත කී යතුරුපැදි සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් ඔහු දැනට 'සදර්න් මෝටර් ස්පෝට්ස් ක්ලබ්' නමැති සංගමයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත්ය.
තමන් සභාපති ධුරයේ සිටියදී යතුරුපැදි සම්මේලනයේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කළ නමුත් වත්මන් සභාපතිවරයා එම සම්මේලනයේ තවත් පිරිසක් සමඟ එක්ව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා සංගම්වලටද බරපතළ අගතියක් සිදුව ඇති බවද ඔහු පවසයි.

හිටපු හමුදා නිලධාරියෙක් වන වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව තමන් නිරන්තරයෙන් හඬ නැඟීම නිසා වත්මන් සභාපතිවරයා තමන් සමඟ වෛරයෙන් හා ද්වේෂයෙන් කටයුතු කරන බවද තමා විසින් එල්ල කරන ලද විවේචනවලට පළිගැනීමක් වශයෙන් ඔහු ඇතුළු ඔහුට හිතවත් විධායක සභාව මඟින් ගත් තීරණයක් මත තමාට යතුරුපැදි සම්මේලනයේ රැස්වීම්වලට හා ඉදිරි වැඩකටයුතුවලට සහභාගි වීමට තිබූ අයිතිය සභාපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් මස 28 දිනැති ලිපියක් යොමු කරමින් තහනම් කර ඇති බවද ඔහු පවසයි.

රගුනාදන් මහතා සිය නීතිඥයා මඟින් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා ඇත්තේ එකී ලිපියේ ඇතුළත් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් විත්තිකරුවන්ට ස්ථිර ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්