කාඩ් කුට්ටම

  👤  3096 readers have read this article !
By mawbima 2017-05-19

'94 යූ.ඇන්.පී. ආණ්ඩුව ගෙදර ගියේ දකුණේ පෙරළියෙන්. මෙදා යවන්නේ උතුරු මැද පෙරළියෙන්'
ඒකාබද්ධය එහෙම හිතලා හැදුවේ 'පළාත් සභා කාඩ් කුට්ටමම' අනන්නටය. උතුරු මැදින් සෙල්ලම පටන් ගන්න හිතුව විපක්‍ෂය සිය සැලසුම කරළියට ගේන්න හැදුවේය. උතුරු මැද මෛත්‍රිගෙත් පළාත නිසා මෛත්‍රිගේ බළකොටුවෙන්ම වැඩේ පටන් ගන්න ඒ අයට ඕන විය. ආණ්ඩු පෙරළිය ගැන ප්‍රසිද්ධ දකුණේ පෙරළියට අනුව ඉතිහාසය එහෙමම වෙයි කියා හිතන සමහරු මෙදා උතුරු මැදින් පෙරළිය පටන් ගන්න සැලසුම හැදුවේය.

හැබැයි කාඩ් කුට්ටම තිබුණේ මෛත්‍රි අතේය.

ඔහු වැඩේට බැස්සේ තීරණාත්මක වෙලාවේය. උතුරු මැද මහින්දගේ කණු හතරක් ගලවා මෛත්‍රි සටන අතට ගත්තේය. උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබ සාධන පරිවාස හා ළමා රක්‍ෂණ ඇමැති ලෙස සිටි කේ.එච්. නන්දසේන මහතා ඉවත් කරපු මෛත්‍රි සෙල්ලම පටන් ගත්තේය. නන්දසේන ඉවත් කිරීමට විරෝධය පා උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන, සමුපකාර, වෙළෙඳ, කර්මාන්ත හා ක්‍රීඩා ඇමැති එස්.එම්. රංජිත් ඉල්ලා අස්විය. මෛත්‍රිට සෙල්ලම පහසු විය. ඔහුගෙන් හිස්වූ තනතුරට සුසිල් ගුණරත්න පත් කළේය. වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය ධුරය දැරූ එච්.බී. සේමසිංහ ඉවත් කොට සරත් ඉලංගසිංහට ඒ පුටුව දුන්නේය. ඊටත් පසු කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු ඇමැතිව සිටි ආර්.එම්. පුංචි බණ්ඩා රත්නායකද ඉවත් කළේය.

පළාත් සභාවල ඊළඟ පෙරළිය ගැන ඉව වැටුණේ මධ්‍යම පළාතෙනි. ජනක තෙන්නකෝන් වෙනුවෙන් පළාත් සභාවෙන් පැත්ත මාරු කළ ප්‍රමිත තෙන්නකෝන් ආණ්ඩුවට ටොක්කක් අනින්න හැදුවේය. හැබැයි දැන් වෙලා තියෙන්නේ මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවීමේ වැඩි ප්‍රවනතාවකි. එහෙම වුණා කියා ඒක මෛත්‍රිට ප්‍රශ්නයක් නොවේ.
මැයි රැලියෙන් පස්සේ 'පිටිය රත්වෙලා' කියා හිතන සමහරුන් දැන් හදන්නේ පළාත් සභා පෙරළා බලය ගන්න බව කියන්නටය. මෛත්‍රි ඒකට ටොක්කක් ඇනලාම පිළිතුරු දුන්නේය.

'මං පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මගේ රැස්වීම්වලට වඩා අති විශාල ජනතාවක් හිටියෙ කාගෙ රැස්වීම්වලටද කියලා තමුන්නාන්සේලා දන්නවා.
පොළොන්නරුව නගරයේ පවත්වපු රැස්වීමට මං දන්නවා ලක්‍ෂයකට කිට්ටු සංඛ්‍යාවක් ඇද්දා බස් දාලා. ඡන්ද ප්‍රතිඵලය කුමක්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. මේ රටේ ජන සංයුතිය, ආගමික පසුබිම, සංස්කෘතික තත්ත්වයන්, ජනවාර්ගික ප්‍රශ්න, සමාජය සකස් වෙලා තිබෙන ආකාරය මේ සියල්ල එක්ක තමයි මැතිවරණයක් වෙලාවට ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ. ඒක නිසා පිට්ටනියකට සෙනඟ ගෙනල්ලා ඔළු ගෙඩි ගාණ මෙච්චරයි කියලා ඒ ඔළුගෙඩි දැකලා හෙට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවා නම් ඒක ලොකු විහිළුවක්'
මෛත්‍රි එහෙම කීවේය. කතාව ප්‍රායෝගිකව ඔප්පු කරමින් මෛත්‍රි පළාත් සභාවලට අත තිබ්බේය.

පළාත් සභා හොල්ලලා මෛත්‍රිව මෙල්ල කරන්න ගිය අය දැන් ඉන්නේ කරකවා අතෑරියා වගේය.
මෛත්‍රි මෙහෙම පාඩම් ඉගැන්වූ මුල්ම වතාව ඕක නොවේය. ඕනාවට වඩා නටන්න ආ අයට මීට පෙරද ඔහු පාඩම් කියාදී තිබේ. ඔහුට චරිත ලොකු නැත. ඔහුට වැදගත් වන්නේ හරියට වැඩේ කරන්නා මිස මහ ලොකු චරිත නොවන බව ඔහු ඔප්පු කොට තිබේ.
මේකෙන් වෙන්නේ ඒකාබද්ධය තව තවත් මෛත්‍රිව කුපිත කරගෙන ඉල්ලන් කන එකය.

පසුගිය දිනවල ඉන්දීය අගමැති ආව එක ගැනද සමහරු හිටියේ 'පොල්කට්ටේ කිඹුලන්' දකිමින්ය.
සමහරු කීවේ මෝඩිලාත් ගෙන්නා ගෙන ආණ්ඩුව ඉන්දියාවට කිට්ටු වෙලා චීනේ තරහා කරගන්නවා කියාය. තව සමහරු කීවේ චීනෙට කිට්ටු වෙලා ඉන්දියාව තරහා කර ගන්නවා කියාය. හැබැයි තව පිරිසක් කියන්නේ ආණ්ඩුව 'සද්ද නැතිව' වැඩ කියලාය.

මෝඩි ඇවිත් ගිය ගමන්ම රනිල් චීනෙට ගියේය. ඒ 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුව සඳහා සහභාගි වීමටය. ඒ වැඩේ චීන ජනාධිපතිගේ වැඩක්ය. පැවැත්වෙන ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවලට රටවල් 30ක් නියෝජනය කරමින් නායක නායිකාවෝ සහභාගි වෙති.
මෝඩි ගෙන්වා චීනෙන් ඇන ගන්න බව කීව අයගේ සද්දේ බැස්සේය.

ගෙවී ගිය මාස දෙක තුළ විතරක් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ කිහිපයක් අත්කර ගත්තේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියාවට ගොස් ව්ලැද්මීර් පුටින් ජනාධිපතිතුමා මුණගැසුණේ ගිය මාසයේය. රනිල් අප්‍රේල් දෙවැනි සතියේදී ජපානයට ගොස් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණ ගැසුණේය. පසුගියදා ඉන්දීය අගමැති ඇවිත් ගියේය. මේ අතර ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබුණේය.
මේවා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව ලබන ජයග්‍රහණය.

ගඩාෆිගේ රටට ගිය මහින්ද ඔහුගේ කරට අත දාගෙන ගජරාමෙට ඉන්න කටවුට් ඒ දවස්වල රටපුරා එල්ලුනේය. ගඩාෆි ඒකාධිපතියෙක් බව ලෝකයම කියද්දීත් ගඩාෆි එක්ක මහින්ද ඉන්නවා දැකපු එවක ආණ්ඩුවේ හැමෝම කීවේ මහින්ද 'සුපිරි රාජ්‍යතාන්ත්‍රිකයෙක්' කියාය.
ලිබියාවට ගිය මහින්ද කෝටි ගාණක වතුර මෙහෙන් එහෙට යවනකොට මහින්දගේ ආණ්ඩුව කීවේ 'ලොක්කා ලෝකෙම දිනා ගන්නවා' කියාය.
ස්වාසිලන්තයේ සල්ලාල රජු මෙහෙට ඇවිත් 'සිරි නරඹා' යනකොට මහින්දගේ ආණ්ඩුවේ අය කීවේ ස්වාසිලන්තයේ පවා 'මහින්ද ජනප්‍රිය' බවය.
චීනේ හැරුණු කොට වෙන කිසිම හරිහමන් රටක් මහින්දගේ ආණ්ඩුවට උදවු නොකරනකොට ඒ ආණ්ඩුවේ අය කීවේ 'විජාතික කුමන්ත්‍රණකාරයෝ මහින්දට තරහ' බවය.

අල්ලපු රට වූ ඉන්දියාව ජිනීවාවලදී ඇමෙරිකාව පැත්ත ගන්නකොට මහින්දගේ ආණ්ඩුව කීවේ 'ඉන්දියාව ලංකාව නැඟිටිනවාට ඊරිසියා' බවය.
චෝගම් එකට ආව බලවත් රටවල නායකයෝ එක්ක 'ගේම' ඉල්ලපු මහින්ද ගැන ඒ කාලේ ඇමැතිවරුන් කතා කළේ උජාරුවෙන්ය.
පසුගියදා ඉන්දීය අගමැති මෝඩි ආවම සමහරුන්ගේ 'ගුවන් තොටිල්ල' ගැස්සුණේය.

මෝඩි ඇවිත් ගියාම ඒ අය කරන විවේචන සහමුලින්ම ඉරිසියාවෙන් කරන ඒවාය. අල්ලාගෙන තියෙන්නේ ඔහු කීව කතාවල 'කෑලි'ය.
දැන් දකින්නේ මෝඩි ආවේ කියපු දවසේ නෙවේ කියලාය. ඇවිත් වතුකරයට ගියේ කුමන්ත්‍රණයකට කියලාය. වතුකරයේ මිනිස්සු ඉන්දියාවේ කොඩි වැනුවේ ඒ කුමන්ත්‍රණය නිසා කියලාය. මහින්ද ජපානයට ගිය වෙලාවේ ශ්‍රී ලංකා කොඩි වනමින් ජපන් දරුවෝ ඔහුව පිළිගන්නකොට 'මහින්දට ජපන් මිනිස්සුන්ව පාවලා දුන්නා' කියා එහේ අය කීවේ නැත. අනෙක් අතට වතුකරයේ ජනයා මැයි රැලිවලදීත් වනන්නේ ඉන්දියාවේ කොඩිය. ඒක මෝඩි ආව දවසේ විතරක් වෙච්ච දෙයක් නොවේ. හැබැයි මෝඩි ආවම ඉන්දියාවේ කොඩිය වනන එක සමහරුන්ට ලොකු අවුලක්ය. ඒ සේරටම වඩා මහින්ද ගිහින් මහ රෑ මෝඩි හමුවීම අරුමයක්ය.
'ඉන්දීය අගමැති එනකොට කළුකොඩි දමන්න කියපු අය රෑ 11ට ගිහින් ඉන්දීය අගමැති හමුවුණා. හමුවෙන්න කලින් ඉන්දීය මහ කොමසාරිස් මට කතා කර කිව්වා කළු කොඩි කට්ටිය හමුවෙන්න ඉල්ලලා තිබෙනවා. මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා හමුවෙන්න දෙන්න කියලා. රෑ 11ට තමයි කළු කොඩිකාරයෝ ගිහින් හමුවුණේ' මෛත්‍රි එහෙම කීවේය.

දැන් දැන් එළැඹ තිබෙන්නේ ගලඋඩ සටනක්ය. වැඩි දවසක් නොගිහින් මුහුණට මුහුණ සටන පටන් ගන්න එකනම් ඒකාන්තය. හැබැයි ඒ සටනට ගොඩ වෙන්නේ කවුද කියා තාමත් කියන්නට බැරිය.

කොහොම වෙතත් 'මම ෂැඩෝ බොක්සිංකාරයෙක් කියා' ප්‍රතිවාදියා එනතුරු කවුරුත් අභියෝග කරන එකක් නම් නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්