දිඹුලාගල කැකුළුවෙල තිරුවාණා ගල් සොයන්න කළ කැණීම් නිසා පරිසරයට බරපතළ හානි සිදුවෙලා

  👤  3093 readers have read this article !
By mawbima 2017-05-19

අරලගන්විල - ජේ.ඒ. ජයකොඩි

දිඹුලාගල කැකුළුවෙල ගම්මානයේ වෙල්යායක පිහිටි ඉතා දුර්ලභ ස්වාභාවිකව පිහිටා ඇති සුදු තිරුවාණා ගල් රැසක් පොළොවෙන් හාරා ඉවතට ගැනීම හේතුවෙන් එම කුඹුරුවලට හා පරිසරයටද දැඩි ලෙස හානි සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
බැකෝ යන්ත්‍ර යොදා ගෙන කිසියම් පිරිසක් විසින් දිවා රාත්‍රි සිදු කරන මෙම ක්‍රියාවෙන් වසර 27ක් පමණ යල මහ කන්න දෙකම වගා කළ කුඹුරු ඉඩමද විනාශයට පත් වී ඇතැයි එම කුඹුරු ඉඩම අයිතිකරු වන කැකුළුවල ගම්මානයේ ජී.එම්. කරුණාරත්න (68) මහතා පවසා සිටියේය. තම කුඹුරු ඉඩමත් පරිසරයත් හානි වන ලෙස සිදුකරන විනාශය නවතා දෙන ලෙස අදාළ බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද කරුණාරත්න මහතා පැවැසීය. සිදුවූ හානිය පිළිබඳව කරුණාරත්න මහතා මෙසේද කීය.

මම අවුරුදු 27ක්ම මේ කුඹුරු වී වගා කළා. ඊට අමතර කුරක්කන්, ගොඩ බෝග හොඳ සාර්ථකව වගා කරලා අස්වැන්න ගත්තා. ඉතිං මගේ කුඹුරේ කිසිම අවසරයක් නැතිව ළිං හාරලා ලොකු දෝනාවල් වගේ හදල සුදු තිරුවාණා ගල් වගයක් සොයන්න. කුඹුරත් අවට පරිසරයත් විනාශ වෙලා. ඒ ගොල්ල පැල්පත් හදාගෙන නැවතිලා රෑ දවල් දෙකම මේ විනාශය කරනවා.

මම බලධාරීන්ට ලිඛිතවත් දැනුම් දුන්නා. නමුත් මේ විනාශය තවම නැවැත්තුවේ නැහැ. මෙහෙම ගියොත් අපේ ඉඩම්වලටත් ඇවිත් තියෙන දේවල් අරන් යාවි. මට ජීවත් වෙන්න තියෙන්නෙ මේ කුඹුර තමා. මගේ කුඹුරත් පරිසරයක් රැක දෙන්න කියලා නැවතත් බලධාරීන්ටත් මැති ඇමැතිවරුන්ටත් දැනුම් දෙනවා.
මේ පිළිබඳව මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කේ.ඒ.සී. විමල් කුමාර මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ මෙවැනි ක්‍රියාවන්වලට තමන් අකැමැති බවත් එය නවතා දැමීමට මැදිහත්ව වහාම සොයා බලන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්