වසා තිබූ දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය රියැදුරෝ 2ක් මාට්ටු

  👤  3059 readers have read this article !
By mawbima 2017-05-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයට යාබදව පිහිටි ආරක්ෂිත දුම්රිය ගේට්ටුව වසාදමා තිබියදී පාසල් දැරියක ගමන් කළ ත්‍රිරෝද රථයක් හා ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් ගෙන ගිය වෑන් රථයක් ගේට්ටුව අතරින් රිංගවූ රියැදුරන් දෙදෙනකු අනුරාධපුර මූලස්ථානය පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක පාලිත නිශ්ශංක මහතා විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර භාරයට ගෙන මුදාහැර තිබූ අතර ඔවුන් දෙදෙනාම අද (19දා) අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
උප පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියෙන් සිංහ කණුව දෙසට ගමන් කරද්දී උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ බලා ධාවනය කරවීමට සංඥා ලබාදී තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත් ප්‍රධාන මාර්ගය හරහා ඇති ආරක්ෂිත ගේට්ටුව වසා තිබූ බවත් රථවාහන අංශය පැවැසීය.

ඇඟලුම් කම්හල් සේවිකාවන් 12 දෙනකු ගමන් කළ වෑන් රථයක් කුඩා පාසල් දැරියක් ගමන් කළ ත්‍රිරෝද රථයක් දෙපස පිහිටි ගේට්ටු දෙකෙහි හිඩැසින් රිංගා දුම්රිය මාර්ගයට ඇතුළු වූ අවස්ථාවේ රථ දෙකට එහා මෙහා ගමන් කිරීමට නොහැකිව දුම්රිය මාර්ගය මැද මුහුණට මුහුණ නවතාගෙන සිටියදී එය දුටු උප පොලිස් පරීක්ෂකවරයා වහාම එම ස්ථානයට දුවවිත් රථ දෙක මාර්ගයෙන් ඉවත් කර දෙදෙනාගේම රියැදුරු බලපත්‍ර ඔහු භාරයට ගෙන තිබිණි.

ආරක්ෂිත දුම්රිය ගේට්ටුව වසා තිබියදී රථ දෙක මාර්ගයට ඇතුළු කළේ ඇයි දැයි උප පොලිස් පරීක්ෂකවරයා සැකකාර රියැදුරන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔවුන් පවසා තිබුණේ පරක්කු වූ නිසා එම වරද සිදුකළ බවයි. රියැදුරන් දෙදෙනාටම යාංගල් මෝදර දුම්රිය අනතුර මතක් කරදී ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරියා කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්